Sunday, April 21, 2024
Homeසියලුම පුවත්රජයේ සේවක 10,000 ගෙවන්න යලි ණය ගනී.. දැවැන්ත අයවැය හිගයක්.. ණය බෝම්බයක්...

රජයේ සේවක 10,000 ගෙවන්න යලි ණය ගනී.. දැවැන්ත අයවැය හිගයක්.. ණය බෝම්බයක් පිපිරෙන්න යයි.

දැවැන්ත අයවැය හිගයක් සහිත මෙම අයවැය හරහා ජනාධිපතිවරයා සිදුකලේ අනාගතයේ තවත් ණය බෝම්බයක් පුපුරුවා හැරීමට සේවා නූල ගිණි තැබීමකී.

බුදුන් වහන්සේටත් අපහාස කල අයවැය

ජනාධිපති අයවැය කතාව ආරම්භ කලේ සාමඤ්ඤඵල සූත්‍රය උපුටා දක්වමින් ණය ගත යුත්තේ ආයෝජනයට මිස පරිභෝජනයට නොවන බවත් පරිභෝජනයට ණය ගන්නා මිනිසා විනාශ වන බවත් ප්‍රකාශ කරමින්. ඒත් අයවැය කතාව අවසන් කලේ ඉතිහාසයේ දැවැන්තම අයවැය හිගය ඇති කරලා ඒ අයවැය හිගය පියවා ගැනීම සදහා ණය ගැනීම පමණක් කරලා. ණය ගැනීම බරපතල ලෙස වැඩි කරගත යුතු නිසා පාර්ලිමේණ්තුවෙන් ආණ්ඩුවට පනවා ඇති ණය ගැනීමේ සීමා රුපියල් බිලියන 3,900 සිට බිලියන 7,350 දක්වා ඉහළ දමමින්. බුදු හාමුදුරුවන්නම් කියලා තියෙන්නේ මෙහෙමයි. හැබැයි අපි ඕව කරන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කියන දේවල් කරලා හරියන්නේ නෑ. අපි කරන්නේ මෙහෙමයි කියලා අයවැය කතාවකින් බුදුරජාණන්වහන්සේටත් කොකා පෙන්නපු අයවැයක් විදිහටයි අපි මේක දකින්නේ.

අය නැති වැය ඇති අයවැයක්

1947 දී මුදල් ඇමති ලෙස ජේ ආර් ජයවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ අයවැයේ සිට සෑම අයවැය කතාවකම අයවැය හිඟය පියවන්න බදු යෝජනා ඉදිරිපත් කළා. ඉතිහාසයේ දැවැන්තම අයවැය හිඟය තිබිලත් ප්‍රථම වතාවට වැය යෝජනා මිසක් අය යෝජනා නැති අරුම පුදුම අයවැයකට ඊයේ අපි සවන් දුන්නා. මේ අයවැයේ බදු පැහැර හරින අයගෙන් බදු අය කරන්න කිසිම යෝජනාවක් නෑ. කිසිම බද්දක් අළුතින් එකතු කරලත් නෑ. තිබෙන බදු වැඩි කරලත් නෑ. ආදායම් වැඩි වෙන ක්‍රම වේදයක් නෑ. එහෙම නම් රස කර කර කියූ වැය යෝජනා ක්‍රියාත්මක කරන්න සල්ලි කොහෙන්ද? ඒ නිසා මේ අයවැය මැතිවරණ ඉලක්ක කර ගත් සුරංගනා කතාවක් විතරයි.

අයවැය ඇස්තමේන්තු අනුව සමස්ත වියදම රුපියල් බිලියන 7,800යි. සමස්ත ආදායම රුපියල් බිලියන 4,100යි. දැන් රුපියල් බිලියන 3,700 දැවැන්ත හිඟයක් තිබෙනවා. සාමාන්‍යයෙන් අයවැය කතාව කියන්නේ මේ හිඟය පියවා ගන්නා ආකාරය පැහැදිලි කරන කතාවට. නමුත් ඒ වෙනුවට කලේ තවත් බිලියන 213 එකතු කරලා බිලියන 3,900ක් බවට අයවැය හිඟය පත් කරපු එක. මේ හිඟය පියවා ගන්නේ කොහොමද? ආදායම වැඩි කරන්නේ නැති නම් ණය ගන්න ඕනි. අසීමිතව ණය ගන්න ඕනි. ඒ සඳහා තමයි ණය ගැනීමේ සීමාව දෙගුණයකින් වැඩි කලේ. අපි වගේ බංකොළොත් රටකට, එසේ වී වසර දෙකක් ගතවී තිබුණත් ඉන් මිදීමේ වැඩ පිළිවෙලක් ලෝක ප්‍රජාවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ රටකට, ණය ප්‍රතිව්‍යහගත කිරීමට අසමත් වූ රටකට ණය දෙන්න රටවල් ඉදිරිපත් වෙන්නේ නෑ.

අපි 2022 අර්බූදයකට මුහුණ දුන්නේ අසීමාන්තිකව ණය ගත් නිසා. වර්තමාන ජනපතිතුමන් ඊට පෙර අග්‍රාමාත්‍යධූරයේ සිටියදී මේ වාගේම සේවක වැටුප් රුපියල් 10 000 කින් වැඩි කරලා එය ගෙවීමට ණය අරගෙන ඒ විදේශ ණය ගෙවන්න ඩොලර් යෙදෙව්වාම තෙල්, ගෑස්, ගල් අඟුරු බෙහෙත් ආදිය ගේන්න මුදල් නැති වුණා. එහෙම නම් දැන් අපි සැලසුම් කරන්න ඕනි ක්‍රමයෙන් ණය ගැනීම් අඩු කරලා ණය ගෙවීම් වැඩි කරලා මේ අර්බූදයෙන් ගොඩ එන විධියක් මිස නහය ගාවට ණය අර්බූදයේ ගිලිලා ඉන්න ගමන් තවත් බිලියන 3,900කින් ණය වැඩි කිරීම නොවේ.

2022 වසරේ අපි මුහුණ දුන් බියකරු අත්දැකීම නුදුරු අනාගතයේ ඇති කිරීමට එහෙමත් නැතිනම් ණය බෝම්බය නුදුරු අනාගතයේ පුපුරුවා හැරීමට සේවා නූල ගිණිතැබීමයි ඊයේ අයවැය කතාවෙන් සිදු කලේ.

වැටුප් වැඩි කිරීම ප්‍රෝඩාවක්

රුපියල් දස දහසකින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරලා තිබෙනවා. හැබැයි මේ මුදල් සොයා ගන්නේ ණය අරන්. ණය දේශීයව ගත්තාම මුදල් සංසරණය වැඩි වෙලා ඉල්ලුම වැඩි වීමෙන් ජීවන වියදම ඉහළ යනවා. විදේශ ණය ගත්තාම ආපසු ගෙවන විට විදේශ විනිමය අනුපාතය පිරිහිලා පිරිවැය වැඩි වෙලා ජීවන වියදම ඉහළ යනවා. පඩි වැඩි කරන්නේ ණයට අරන් නම් එහි අවසන් ප්‍රතිඵලය උද්ධමනය ඇති වෙලා ජීවන වියදම ඉහළ යෑම නම් අර කලින් වැටුපට ගත්ත බඩු ටිකමයි අළුත් වැටුපටත් ගන්න පුළුවන් වෙන්නේ. අන්තිමේට පඩි වැඩි කිරීමෙන් ලැබුණු දෙයක් නෑ.

රුපියල් විසි දහසක වැටුප් වැඩි කිරීමක් ඉල්ලීමෙන් පෙන්නුම් කරන්නේ වෘත්තිය සමිතිත් මේ අර්බූදය තේරුම් අරන් නෑ. දේශීය නිෂ්පාදන වැඩි කරන්නේ නැතිව රාජ්‍ය ආදායම වැඩි කරන්නේ නැතිව ණයට අරන් වැටුප් වැඩි කිරීමෙන් වෙන්නේ ජීවන වියදම තව තවත් වැඩි වීම මිස අඩුවීමක් නොවේ. ඒ නිසා මේ වෙලාවේ වෘත්තිය සමිති කියන්න ඕනි වැටුප් වැඩි කරව් කියලා නොවේ. දේශීය නිෂ්පාදනය වැඩි කරව්, බදු පැහැර හරින්නන්ට දඬුවම් කරව් කියලා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments