Friday, April 19, 2024
Homeසියලුම පුවත්ජනපතිට දෝෂාභියෝගයක්; අගමැතිට විශ්වාසභංගයක්

ජනපතිට දෝෂාභියෝගයක්; අගමැතිට විශ්වාසභංගයක්

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට මන්ත්‍රී අත්සන් ලබා ගැනීම පාර්ලිමේන්තුවේදී ඊයේ (08) සිට ආරම්භ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

සමගි ජනබලවේගය ප්‍රමුඛව මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම මේවන විට අවසන් වෙමින් ඇති බවත්, පාර්ලිමේන්තුවේ මේවන විට ස්වාධීන වී සිටින සහ ආණ්ඩු විරෝධී ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගෙන සිටින මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම ඉදිරි දින කිහිපයේ සිදු කිරීමට නියමිත බවද සජබ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන මෙම යෝජනා දෙකෙන් මුලින්ම අත්සන් ගැනීමට සැලැසුම්කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවට බවද පැවසේ.

ඒ විශ්වාසභංග යෝජනාවකට අවශ්‍යවන්නේ අවම අත්සන් ප්‍රමාණයක් නිසා බවද වාර්තා වේ.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මන්ත්‍රී ප්‍රමාණයක් හෝ මන්ත්‍රීවරුන්ගෙන් දෙකෙන් පංගුවක් සහ කථානායකවරයාගේ අත්සන ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

සමගි ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම පසුගිය සිකුරාදා පෙරවරුවේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී රැස්වූ අතර එහිදී විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවතින ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදීව සහ ව්‍යවස්ථානුකූලව ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

‘‘එහෙනම් අපි අදම එය ක්‍රියාත්මක කරමු’’ යැයි එම යෝජනාව ස්ථිර කරමින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝග යෝජනාව ගෙනවිත් ඇත්තේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසිනි.

හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනා එලෙස ලේඛන දෙකකට අත්සන් ගැනීමට අවශ්‍ය ‘ෆයිල්’ සෑදීම සිදුකර ඇත.

විශ්වාසභංගයට මංගල අත්සන කිරිඇල්ලගෙන්

මෙම අත්සන් ලේඛනයට ප්‍රථමයෙන් ම අත්සන් තබා ඇත්තේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාය.

ඉන් අනතුරුව ගයන්ත කරුණාතිලක, තිස්ස අත්තනායක, රාජිත සේනාරත්න, රිෂාඞ් බදියුදීන්, කබීර් හෂීම්, එම්. එච්. ඒ. හලීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා, රංජිත් මද්දුම බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, නිරෝෂන් පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, මුජිබර් රහුමාන්, ඉම්රාන් මහරුෆ්, සුජිත් සංජය පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරු එහි මුල් පිටුවෙහි අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව වෙනත් පක්‍ෂවල සහාය ලබා ගැනීමට සාකච්ඡ පවත්වමින් පවතින බවද වාර්තා වේ.

මේ අතර, විශ්වාසභංගයට අත්සන් නොතබන මන්ත්‍රීවරුන්ගේ නිවාස ඉදිරිපිට සාමකාමී විරෝධතා පැවැත්වීම කෙරෙහිද සජබය සාකච්ඡා කරමින් ඇතැයි වාර්තා වේ.

විපක්ෂය විශ්වාස භංගයට අත්සන් ගනිද්දී ආණ්ඩුපක්ෂය විසින් එයට විරෝධය දැක්වීම සඳහා අත්සන් එකතුකරමින් සිටින බව වාර්තා වේ.

කෙසේවුවද, මේ සඳහා අත්සන් එකතු කිරීමේ ආණ්ඩු පක්ෂයට තරමක් අපහසු කාර්යක් වී ඇති බවත්, ඒ විවිධ හේතු කියමින් මන්ත්‍රීවරු පිරිසක් එයට අත්සන්කිරීම මඟ හැරීම නිසා යැයිද පැවසේ.

යෝජනාව 19න් පස්සෙයි!

කෙසේවුවද, මේවන විට පාර්ලිමේන්තුව දින 10ක කාලයකට වසා දමා තිබේ.

ඒ අනුව එය නැවත ඇරඹෙන්නේ අවුරුදු නිවාඩුවෙනුත් පසුව ලබන අප්‍රේල් 19 වැනිදාය.

කෙසේවුවද, “ඉරිදා අරුණ” පුවත්පත වාර්තාකර තිබුණේ සජබ විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට බාරදීමට කටයුතු කරන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments