බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “අක්වාන්” සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින් ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ඊයේ (17) සවස 5.30 පමණ වන විට මෙම සුළි කුණාටුව ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 630ක් පමණ දුරින්, උතුරු අක්ෂාංශ 12.3° සහ නැගෙනහිර දේශාංශ 85.6° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි.එය සෙමින් උතුරු-වයඹ දෙසට ගමන් කරමින් අද (18) අලුයම 5.30 පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් බවට වර්ධනය වීමට ඉඩ ඇති බව සඳහන් වේ.හෙට (19) සවස 5.30 පමණ වන විට එය ඉතා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි අතර, නොවැම්බර් 20 වැනිදා පෙරවරු 11.30 පමණ වන විට ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාමි වෙරළ අතරින් ඉන්දියාවට ඇතුළුවීමට ඉඩ ඇති බවද අනාවැකියේ දැක්වේ.මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 06°ත් 19°ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80°ත් 95°ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී තිබේ.එම මුහුදු ප්‍රදේශවල සිටින ධීවර හා නාවික ප්‍රජාවට ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත. ඉදිරියේදී නිකුත් කරන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද ඉල්ලා තිබේ.මේ අතර, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.

