Thursday, March 5, 2026
Homeදේශීයඖෂධ ප්‍රමිති පරීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කිරීමට විශේෂ සාකච්ඡා

ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කිරීමට විශේෂ සාකච්ඡා

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා (24) පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ඖෂධවල ප්‍රමිතිය පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කරමින්, ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ඉතා ක්‍රමවත්ව සහ විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා සිදු කෙරිණි.

ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙහිදී එම ආයතනවල පරීක්ෂණ රසායනාගාර හරහා ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කිරීම, ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, පරීක්ෂණ ක්‍රියාවලියේ ඵලදායීතාව ඉහළ නැංවීම සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබෙන ඖෂධ තත්ත්ව පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් මතුවන ගැටලු හා අධීක්ෂණය කළ යුතු කරුණු පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් පළ කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරීක්ෂණ විද්‍යාගාරය තුළින් ඖෂධ තත්ත්ව පරීක්ෂණ සිදු කිරීමේදී යම් සීමාවන් පවතින බව නිරීක්ෂණය වී ඇති බවයි. ඒ හේතුවෙන් ඉදිරියේදී මෙම කටයුතු තවදුරටත් විධිමත් සහ පුළුල් වැඩසටහනක් ලෙස ඉහළ නැංවීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

එම ක්‍රියාවළිය සඳහා යම් කාලයක් අවශ්‍ය වන බැවින් රජය යටතේ පවතින අනෙකුත් ආයතන හරහා මෙම පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමේ හැකියාව පිළිබඳවද සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා පැවසීය. ඖෂධ සැපයුම් ක්‍රියාවළියට බාධාවක් නොවන පරිදි ගැටළු සහගත ඖෂධ සඳහා ප්‍රමුඛතාව ලබාදී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහමඩ් නවවි, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments