නිසි පරීක්ෂාවකින් තොරව මුදාහරින ලැබූ කන්ටේනර් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කිරීමට එකඟ වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කඩිනමින් පිහිටුවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කථානායකවරයාට ඊයේ (11දා) නැවත මතක් කළේය.
ගයන්ත කරුණාතිලක මහතා – කන්ටේනර් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටමං කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස අපි පසුගිය ඔක්තෝබර් 09දා ඉල්ලීමක් කළා. ඊට පසු රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රැස්වීමේදී ඒ සඳහා එකඟතාව ලැබුණා.
මෙය පාර්ලිමේන්තුවේ පරිපූරකයටත් දින නියමයක් නැති යෝජනාවක් ලෙස ඇතුළත් කරලා. මේ පිළිබඳ පක්ෂ නායක
රැස්වීමේදී එකඟ වෙලා මාසයක් ගත වුණත් ඒ සභාව පත්කරලා නෑ. ඒ නිසා හෙට අනිද්දාම මේ සභාව ඉක්මනින් පත් කරන්න කියලා ඉල්ලනවා.
කථානායක- එය දින නියමයක් නැති යෝජනාවක් ලෙස ඇතුළත් කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට දිනයක් යොදා ගනිමු. අපි ඒ වැඩේ කරමු

