Homeසියලුම පුවත්කෙටි කාලයකදී තද වැසි ලැබීමෙන් ක්ෂණික ගංවතුර අවදානමක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු...

කෙටි කාලයකදී තද වැසි ලැබීමෙන් ක්ෂණික ගංවතුර අවදානමක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.විශේෂයෙන්ම ගංගා ආශ්‍රිතව සහ පහත් බිම්වල ජීවත් වන ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන පුද්ගලයන්ද තම ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිය යුතු බව ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලිමීටර් 130කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, කෑගල්ල, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවලටද මිලිමීටර් 50ත් 100ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇත.මේ වන විට ගංගා කිහිපයක ජල මට්ටම් සුළු ගංවතුර තත්ත්වයන්ට ආසන්නව හෝ එම මට්ටමේ පවතී.- නිල්වලා ගඟ: අකුරැස්ස, මාලිම්බඩ සහ කද්දුව ඇතුළු පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර ජල මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.- ගිං ගඟ: බද්දේගම සහ ඒ ආසන්න ප්‍රදේශවල සුළු ගංවතුර මට්ටමක් පවතී.- කළු ගඟ: මිල්ලකන්ද සහ කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් පවතී.- කැලණි ගඟ: ජල මට්ටම ඉහළ අගයක පැවතියද ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.- අත්තනගලු ඔය: සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවතින නමුත් ජල මට්ටම අඩුවෙමින් පවතී.- මහ ඔය: බඩල්ගම ඇතුළු ප්‍රදේශවල ජල මට්ටමේ සාමාන්‍ය වැඩිවීමක් දක්නට ලැබේ.කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපයේදීත් සැලකිය යුතු තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.විශේෂයෙන්ම අම්පාර ප්‍රදේශයට පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිලිමීටර් 130කට ආසන්න වැසි ලැබීම වැනි තත්ත්වයන් ක්ෂණික ගංවතුර ඇති කිරීමට හේතු විය හැකිය.එබැවින් ගංගා ආසන්නයේ සහ පහත් බිම්වල ජීවත් වන ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන පුද්ගලයන්ද දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, වාරිමාර්ග හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments