Thursday, April 25, 2024
Homeදේශීයඩෙංගු උවදුර තවත් ඉහලට, 50%ක්ම බස්නාහිර පළාතෙන්

ඩෙංගු උවදුර තවත් ඉහලට, 50%ක්ම බස්නාහිර පළාතෙන්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 61ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම්කර තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවැසුවා.

එම අධි අවදානම් කලාපවලට අයත් සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 15ක පසුගිය දිනවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවද සමස්ත ඩෙංගු රෝගීන්ගේ සියයට 25ක් වයස අවුරුදු 5-19 අතර වන බවද ඔහු පැවැසුවා.

මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් ගණන 36,560ක් බවත් එයින් සියයට 50කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මේ වන විට වැඩිම ඩෙංගු මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතින් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවැසුවා.

රක්තපාත තත්ත්වය හා කම්පන තත්ත්වයන් හි ඇති වූ බරපතළ තත්ත්වය හේතුවෙන් මෙම මරණ සිදුව ඇතැයි තොරතුරු වාර්තාවන බවද දිවයිනේ සියලුම ප්‍රදේශවලින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 23ක් බවත් පවතින තත්ත්වය හැකි උපරිමයෙන් පාලනය කර ගැනීමට පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළා. 

මදුරු කීටයන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 307 දෙනකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන රතු නිවේදන 877 නිකුත් කර ඇති බවද  කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවා.

මේ වන විට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිවෙස් 26,033ක් පරීක්ෂා කර තිබෙන බවත් එයින් 3,505ක් එනම් සියයට 13.4ක ප්‍රතිශතයක මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබූ බවත් ඔහු සඳහන් කළා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෑම සිකුරාදා දිනකම උදෑසන කාලයෙන් පැය 2ක් ඩෙංගු පවිත්‍රතා කාලයක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළ බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවැසුවා.

රට තුළ පවතින ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනය හේතුවෙන් ඩෙංගු රෝගීන් වැඩිවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවද රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල්, නිවාස ඇතුළු සියලු පරිශ්‍රයන් පිරිසිදු කර ගැනීමට කටයුතු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මඟින් සියලු ආයතන වෙත දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments