Saturday, May 18, 2024
Homeදේශීයරටට සල්ලි මවන ලෝක උරුම රැකගනිමු

රටට සල්ලි මවන ලෝක උරුම රැකගනිමු

ඓතිහාසික උරුම අතින්ගත් විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව බොහෝ වාර්තා අත්පත් කරගත් රටකි. වසර 2500ක් තරම් අතීතයට දිවයන ඉතිහාසයක් සහ සංස්කෘතියක් ඇති ලංකාවේ උරුම හරුමකම් ලෝක ප්‍රකට විද්වතුන්ගේද ඇගයුමට හා සම්භාවනාවට පාත්‍ර වී තිබේ. භාරතයෙන් දායාදයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනැමූ බුදුසමය විසින් හික්මවන ලද සමාජය මේ ප්‍රබුද්ධ සංස්කෘතික හර පද්ධතිය නිර්මාණය කළ බව කීම වරදක් නොවේ.

අපට මෙම පෙරවදන සටහන් කරන්නට සිදුවූයේ ශ්‍රී ලංකාවේ ලෝක උරුම පිළිබඳ කතිකාව නැවතත් පුවත් මවන්නට පටන් ගැනීම නිසාය. ශ්‍රී ලංකාවේ දැනට ප්‍රකාශ වී තිබෙන ලෝක උරුම අටට අමතරව තවත් ලෝක උරුම ස්ථාන 10ක් හඳුනාගෙන ඇතැයි පුරාවිද්‍යා හා සංස්කෘතික බලධරයන් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවට වාර්තා කර තිබුණි. එහෙත් එම උරුම ස්ථාන හෝ ප්‍රදේශ කවරේ දැයි සඳහනක් නැත.

මෙම ලෝක උරුම ස්ථාන හෝ ප්‍රදේශ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ බලය ඇත්තේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝවටය. 1972 යුනෙස්කෝව සම්මත කරගත් ලෝක උරුම හා පාරිසරික උරුම රැක ගැනීමේ අන්තර් ජාතික සම්මුතිය අනුව මෙකී ලෝක උරුමය ප්‍රකාශයට පත් කෙරේ. මේ තාක් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති ලෝක උරුමස්ථාන ගණන 8කි.

එම ස්ථාන වන්නේ අනුරාධපුර පූජා නගරය, පොළොන්නරුව පූජා නගරය, මහනුවර පූජා නගරය, සීගිරිය, රන්ගිරි දඹුළු විහාරය, ගාලු‍ කොටුව, සිංහරාජ වනාන්තරය හා මධ්‍ය කඳුකරයේ සමනල හා දුම්බර (දුම්බානාගල) පරිසර පද්ධතිය. මෙයට අමතරව තවත් ස්ථාන හඳුනාගෙන ඇතැයි ප්‍රකාශ නිකුත්වන විට ඒ පිළිබඳව හැදෑරීම් කරන විද්වතුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද යෝජිත ස්ථාන ගණනාවක් ගැන සඳහන් වෙයි. මෙයින් ස්ථාන 3ක් ගැන පමණක් යුනෙස්කෝ වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ යෝජිත ලෝක උරුමස්ථාන ලෙස සටහන්ව ඇත. සේරුවිල මංගල රජමහා විහාරය, සේරුවිල සිට මහවැලි ගංගාව ඔස්සේ පුරාණයේ පැවති සිරිපා මාවත සහ රජගල නටබුන් මෙම ස්ථාන තුනය. ඒ හැර වෙනත් කිසිදු යෝජිත ලෝක උරුම ස්ථානයක් ගැන යුනෙස්කෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ නැත.

ලෝක උරුම ස්ථානයක් ප්‍රකාශයට පත් වූ විට එම ස්ථානයට හෝ ප්‍රදේශයට අලු‍ත් වටිනාකමක් එක්වෙයි. ඒ නිසා එම ස්ථාන ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම යුනෙස්කෝව විසින් අදාළ රටවල ආණ්ඩුවලට පවරා ඇත. එම පැවරීමේදී ලබාදී ඇති ප්‍රධානම නිර්දේශයක් වන්නේ අදාළ ස්ථානයේ පැවැත්මට හානිදායක කිසිවක් නොකළ යුතු බවයි. එහෙත් ශ්‍රී ලංකාව ගත් විට අපේ ලෝක උරුම ස්ථානවල සුරක්ෂිත බව සම්බන්ධව රටේ පාරිසරික හා සංස්කෘතික උරුම සුරැකීමේ සංවිධාන වරින්වර විවිධ ප්‍රශ්න මතුකර තිබේ. අනුරාධපුරය, පොළොන්නරුව ආදී පුදබිම්වල කෙරෙන අනවසර ඉදිකිරීම් ගැන මෙයට පෙර වාර ගණනාවක් වාර්තා ලැබී තිබුණි. එසේම ශ්‍රී ලංකාවේ පවත්නා අගනා පරිසර පද්ධතියක් ලෙස සැලකෙන ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව කෙරෙන හානිදායක ක්‍රියාකාරකම් හා ඉදිකිරීම් සම්බන්ධයෙන්ද වාර ගණනාවක්ම චෝදනා එල්ල විය. ගාලු‍ කොටුව සංරක්ෂණය කිරීමේ මුවාවෙන් එහි ලෝක උරුම ලක්ෂණවලට හානි කිරීමක් ගැනද ඇතැම් වාර්තාවල සඳහන් විය. මේ ආකාරයට මෙරට ලෝක උරුම ස්ථාන සම්බන්ධයෙන් කාලයෙන් කාලයට විවිධ අර්බුදකාරී තත්ත්ව හට ගැනිණ. එහෙත් එම චෝදනා මත මෙම ස්ථාන ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යුනෙස්කෝව පියවර නොගැනීම වාසනාවට කරුණකි.

මෙහිදී තවත් සිහිපත් කළයුතු කරුණක් තිබේ. රටක ලෝක උරුමයක් ප්‍රකාශයට පත් වූ විට. එම ස්ථානයට හෝ ප්‍රදේශය ජාතික හා ජාත්‍යන්තර අවධානයට ලක්වෙයි. එසේම ලෝක උරුමයක් ලෙස යම් ස්ථානයක් නම්කරනු ලැබූවිට විශේෂයෙන්ම සංචාරකයන්ගේ දැඩි අවධානය එම ස්ථානවලට යොමුවීම ස්වභාවිකය. එබැවින් දැනට මෙරට ප්‍රකාශ වී තිබෙන ලෝක උරුම ස්ථාන සංචාරක ගමනාන්ත වශයෙන් තවදුරටත් ජාත්‍යන්තරයෙහි ප්‍රවර්ධනය කළ හැකි නම් ඒවා රටට ඩොලර් ගලන ධන උල්පත් බවට පත්කර ගත හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments