නව වසර සඳහා පළමු වරට පාර්ලිමේන්තු සභාවාරය අද (06) දින රැස්වී තිබේ. එය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
අද සභාවාරයේදී ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නිකුත් කළ නියෝග මෙන්ම ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ පනතට අදාළ නියෝගද විවාදයට ගැනීමට නියමිත බව සඳහන් වේ.
ඊට අමතරව, මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් 28 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද ප්රකාශනයට අදාළ යෝජනා සම්මතය ද අද විවාදයට ගැනීමට නියමිතය.
තවද, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බැලීම සඳහා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනා සම්මතයද අද පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

