පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (17) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිතය.
අද පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා එම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
පෙබරවාරි මාසයේ දෙවන පාර්ලිමේන්තු සතිය අද සිට ලබන 20 වන දින දක්වා රැස්වීමට නියමිත අතර, අද පෙරවරු 9.30ට සභාව රැස්වීමට නියමිතය.
අදාළ පනත් කෙටුම්පතට අමතරව මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් ද අද අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
හෙට (18) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 3ක් සහ මෝටර් වාහන පනත යටතේ නියෝග 2ක් විවාදයට ගෙන අනුමත කිරීමට සැලසුම් කර ඇති අතර, ලබන බ්‍රහස්පතින්දා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සහ විෂ වර්ග අබිං හා අන්තරාදායක ඖෂධ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
සිකුරාදා දිනයේදී විපක්ෂය විසින් බලශක්ති ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් ගෙන එනු ඇති බව ද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

