අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නේ, පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය වෘත්තීය සමිති සහ අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරගෙන ගත් එකක් බවයි.
ඇය තවත් කියාසිටියේ, වෙනස්කම් සිදුකිරීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය බවය.
කෙසේ වෙතත්, විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ, මෙම තීරණය කිසිදු නිසි අධ්‍යයනයකින් තොරව ගත් බවයි.
එම සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේ, ආණ්ඩුව එම තීරණය සඳහා හේතු වූ කරුණු අනාවරණය කළ යුතු බවයි.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි පෙන්වා දුන්නේ, මේ වනතෙක් පැවති සාකච්ඡාවලදී කිසිදු එකඟතාවක් නොමැති බවය.
කෙසේවෙතත් පාසල් වේලාව වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කුලියාපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය මෙනවිය පළ කළේ මෙවන් අදහසකි.
“අපි මේ අවුරුද්ද පුරාම වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරා. සංවාද කරා. ඒ විතරක් නෙමෙයි අපි ගුරුවරු එක්කත් විදුහල්පතිවරු එක්කත් සාකච්ඡා කළා. ඒ හරහා තමා පැය භාගයක වැඩිකිරීමක් කරන්න අපි තීරණය කරලා තියෙන්නේ. සති දෙකකට විතර කලින් අමාත්‍යාංශයෙනුත් ඒ පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. මේක කරන හැටි මොඩල් ටයිම්ටේබල් විදුහල්පතිවරුන්ට යවලා තියෙනවා. මේ වගේ වෙනසක් එද්දි විවිධ අදහස් එන එක සාමාන්‍යයි. බිම් මට්ටමේ මේක ක්‍රියාත්මක කරන්න බැහැ කියලා ලොකු විරෝධයක් පේන්න නෑ.”

