Friday, November 21, 2025
Homeදේශීයපොලිසිය ඉවත් කළ බුදුපිළිමය පොලිසිය විසින්ම යළි වඩමවයි

පොලිසිය ඉවත් කළ බුදුපිළිමය පොලිසිය විසින්ම යළි වඩමවයි

ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට අයත් භූමියේ තැන්පත් කර තිබූ බුදුපිළිමයක් ඉවත් කිරීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් පිරිසක් සහ ඊට විරෝධය පළ කළ භික්ෂුන් වහන්සේලා ඇතුළු බෞද්ධ ජනතාව අතර පෙරේදා (16 වැනිදා) රාත්‍රි ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් නිසා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

මෙහි ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලැබූ බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා දෙනමක් ද ත්‍රිකුණාමලය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ද තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර සිටිති.

ත්‍රිකුණාමලය බෝධිවර්ධනාරාම විහාරස්ථාන භූමියේ ඉදිකළ බුදුකුටිය නීතිවිරෝධි බව කියමින් එහි තැන්පත් කර තිබූ බුදුපිළිමය පොලිසිය විසින් පෙරේදා රාත්‍රියේ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබිණි. එම සිද්ධියෙන් පසු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උණුසුම්කාරි තත්ත්වයක් උද්ගත වූ අතර එම උණුසුම ඊයේ පාර්ලිමේන්තුව පුරා ද පැතිර ගියේය.

බලංගොඩ කස්සප හිමියන් රෝහල් ගත කර..

ත්‍රිකුණාමලයේ ඇතිවෙමින් තිබූ උණුසුම් තත්ත්වය පිළිබඳව අවධානය යොමුකළ පොලිසිය බලෙන් රැගෙන ගිය බුදුපිළිමය නැවත බෝධිවර්ධනාරාම විහාරස්ථානයේ බුදුකුටියේ තැන්පත් කිරීමට අවසර ලබාදී තිබිණි.

ඒ අනුව ඊයේ සවස් කාලයේදී පිරිත් සජ්ඣායනා මැද බෝධිවර්ධනාරාම විහාර භූමියේ අලුතින් ඉදිකළ කුටියේ තැන්පත් කිරීමට බුදුපිළිම වහන්සේ වැඩමවීමට කටයුතු කළහ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නැඟෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ මෙම විහාරස්ථානය අසල පිහිටි ඉඩමේ අනවසර ඉදිකිරීම සහ බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර බුදුපිළිමය තැන්පත් කළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ද කටයුතු කර ඇති බව එම උසස් නිලධාරියා කියා සිටියේය.

පූජා භූමියේ ඔප්පු හිමිකම්

ත්‍රිකුණාමලය බෝධිවර්ධනාරාම විහාරයට යාබද ඉඩමක අනවසර ඉදිකිරීමක් කරන බවත් එය වහාම නතර කිරීමට කටයුතු කළ යුතු බවත් කියමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රිකුණාමලය නාවික පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

ඒ අනුව මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර එම ඉදිකිරීම ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරද්දී විහාරස්ථානයේ උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

බෝධිවර්ධනාරාම විහාරයේ දහම් පාසල් ගොඩනැඟිල්ල ඉදිකිරීමට පෙරේදා උදේ වරුවේ මුල්ගල තැබූ අතර එතැන් සිට එම ප්‍රදේශයේ මෙම උණුසුම් තත්ත්වය උද්ගතවන්නට පටන් ගැනිණි.

මේ අවස්ථාවේ ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද විහාරස්ථානය වෙත පැමිණ අලුතින් ඉදිකරන සියලු ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී තිබිණි. එසේ නොකළහොත් විහාරස්ථානයේ අලුතින් ඉදිකරන අනවසර ඉදිකිරීම් සියල්ල බලහත්කාරයෙන් කඩා ඉවත් කරන බව කියමින් එම නිලධාරියා තර්ජනය කර ගොස් ඇත.

මෙම සිද්ධියෙන් පසු විහාර භූමියට යාබදව කුඩා කුටියක් ඉදිකළ ප්‍රදේශවාසීන් සහ භික්ෂුන් වහන්සේලා එහි තැන්පත් කිරීමට අඩි 3ක් පමණ උසින් යුත් බුදුපිළිම වහන්සේනමක් වැඩමකරවා ඇත.

පසුව පෙරේදා (16දා) රාත්‍රි පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් බුද්ධ ප්‍රතිමාව රැගෙන යෑමට කටයුතු කළ අතර ඊට භික්ෂුන් වහන්සේලා දැඩි විරෝධයක් පළ කළහ. එහිදී අදහස් දැක්වූ භික්ෂූන් වහන්සේ නමක් “ත්‍රිකුණාමලයේ අපි ඉතාම හොඳ සහජීවනයකින් ජීවත් වෙනවා. මෙතෙක් කලක් අපිට කවදාවත් මේ වගේ ගැටලුවක් මතු වුණේ නැහැ. මෙහෙ තිබෙන කෝවිලක් හරි මුස්ලිම් පල්ලියක් හරි ඉදිකිරීමට විරෝධය පළ කරලා අපි පොලිසි ගිහිල්ලා නැහැ. එහෙම නම් ඇයි බෞද්ධ අපිට විතරක් මේ කෙණෙහිළිකම් කරන්නේ? මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හෙළි කරන්න ඕනෑ” ආදී වශයෙන් පවසනු ද ඇසුනි.

1951 සිට මෙම ආරාමය මෙම භූමියේ පැවතිණි. එය ආරම්භ කරන්නේ බලපිටියේ ශාන්ත නායක හාමුදුරුවන් වහන්සේ විසිනි. මේ භූමියේ උන්වහන්සේ එකල ප්‍රදේශයේ පැවැති විශාලම දහම් පාසල නිර්මාණය කළ අතර ඊට වෙනත් ආගම්වලින් කිසිම විරෝධයක් මතුවන්නේ නැත. පසුකාලීන ජාතිවාදි කලබල වකවානුවේ හෝ මේ පන්සල් භූමියට සහ ගොඩනැඟිලිවලට බාධාවක් ඇති වුණේ නැත. එහෙත් සුනාමි උවදුරින් පන්සලේ ධර්ම ශාලාව විනාශ වී ගියේය. මේ භූමිය නිරවුල් පූජා භූමි ඔප්පුවක් සහිත පූජා භූමියකි. එමෙන්ම නගර සභාව මගින් කළ සංවර්ධන කටයුතුවලදී සිදුකළ ෆයිනස් වගාව මේ භූමිය තුළත් සිදුවෙද්දී පන්සලේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවක එම ෆයිනස් ගස් ඉවත් කරගැනීම සඳහා අවසරයක් ද නගර සභාව විසින් ලිඛිතව පන්සලේ නායක හාමුදුරුවන් වෙත ලබාදී තිබිණි.

සංචාරක ආකර්ෂණය වැඩිවත්ම පන්සල් ඉඩමේ බදු පදනම මත අවන්හලක් පවත්වාගැනීම සඳහා පන්සලේ නායක හාමුදුරුවන් අවසර ලබාදී තිබූ අතර එම ඉදිකිරීම අනවසර ඉදිකිරීමක් ලෙස සලකා ඉවත් කරන ලෙසත් පන්සලේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය නම් ඒ වෙනුවෙන් එම භූමිය භාවිත කරන ලෙසත් මේ රජය බලයට පැමිණි පසු දන්වා තිබිණි. ඒ කරුණු මත පදනම්ව දානපතීන්ගේ සහයෝගය සහිතව නීත්‍යනුකූල පන්සල් ඉඩමේ එවකට පැවැති ධර්ම ශාලාව වෙනුවට නව ධර්ම ශාලාවක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කෙරිණි.

ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේදී ආරම්භ වූ ප්‍රථම දහම් පාසල වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල නැවත ආරම්භ කිරීම සඳහා මිහිඳුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම 2025.11.16 වැනිදා පෙරවරු 09.09ට යෙදුණු සුබ මොහොතින් ත්‍රිකුණාමල මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදුකරන ලදී. වර්ෂ 1951දී ආරම්භ කරන ලද මෙම විහාරස්ථානයේ නිර්මාතෘ අපවත් වී වදාළ බලපිටියේ ශාන්ත නාහිමියෝය. ඉන්දීය හමුදා ආක්‍රමණයෙන් පසු අකර්මණ්‍ය වූ මෙම විහාරස්ථානය හා දහම් පාසල 1996දී ත්‍රිකුණාමලය පෙඩ්රික් බලකොටුව අසල බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථාන භූමියට ගෙනයන ලදී.

වර්ෂ 2001 වනවිට දරුවන් 200කට අධිකව අධ්‍යාපනය ලැබූ ත්‍රිකුණාමලයේ කීර්තිමත්ම දහම් පාසලක් වූ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල (53/15/දහ/ලි/6345) සුනාමි ව්‍යසනයෙන් පසු වැසී ගියේය.

2004 දෙසැම්බර් සුනාමි ව්‍යසනයෙන් සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පැරණි ගොඩනැඟිල්ල ද සම්පූර්ණයෙන්ම විනාශ විය. යුද ගැටුම් හා විවිධ ගැටලු හේතුවෙන් සම්බුද්ධ ජයන්ති විහාරය හා දහම් පාසල නැවත ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණු අතර 16දා ආරම්භ වූයේ එම සද් ක්‍රියාවය. වර්තමානයෙහි මෙම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරනු ලබන්නේ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංසතිස්ස හිමියන්ය. උන්වහන්සේලා මෙම ධර්මශාලාවට මුල්ගල තබන්නේ උදෑසනය. සවස් වනවිට පොලිසිය සිවිල් ඇඳුමින් පැමිණ ඉහළින් ලැබුණු නියෝගයක් බව පවසා බුදු පිළිමය ඇතුළු ඉදිකිරීම ඉවත් කරගන්නා ලෙස දන්වා තිබිණි. ඒ පැමිණෙන්නේ පළාතේ සහකාර පොලිස් අධිකාරිවරයා බව කියැවිණි. ඔහු කියන්නේ බුදු පිළිම නිසා ත්‍රිකුණාමලයේ බොහෝ ප්‍රශ්න ඇති වූ බවය. පසුදා පොලිසියට පැමිණ කටඋත්තරයක් දෙන ලෙස හාමුදුරුවරුන්ට නියෝග කරන සිවිල් ඇඳුමින් සැරසුන සහකාර පොලිස් අධිකාරි සිය කණ්ඩායමත් සමග පිටවී ගියේය. පසුව පෙරේදා (16දා) රාත්‍රියේ පොලිසිය බලහත්කාරයෙන් පන්සලේ වැට කපා පන්සලට ඇතුළු වී ඉදිකිරීමට සූදානම් කර තිබූ ඉදිකිරීම් ද විනාශ කරමින් බුදුපිළිමය ඉවත් කරගෙන ගියේය.

කෙසේ වෙතත් ඊයේ (17දා) දහවල් ත්‍රිකුණාමලය පොලිසිය මගින් බුද්ධ ප්‍රතිමාව නැවත විහාරස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර අතරමඟදී භික්ෂුන් වහන්සේලා හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව පෙරහැරකින් බුද්ධ ප්‍රතිමාව බෝධිරාජ විහාරස්ථානය වෙත වැඩම කරවූහ.

උද්ගතවූ ගැටලුව ගැන ත්‍රිකුණාමලය දිසාපතිවරයා සමග ත්‍රිකුණාමලය ශාසනාරක්ෂක මණ්ඩලයේ හිමිවරු කිහිප නමක් ඊයේ සාකච්ඡා කර ඇති අතර අදාළ ඔප්පු සහිත ඉඩම්වල ඉක්මනින් මැනුම් කටයුතු කරන තුරු ඒවායේ ඇති කිසිම දෙයක් ඉවත් නොකරන බව දිසාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ

RELATED ARTICLES

Most Popular

Recent Comments