Wednesday, October 22, 2025
Homeදේශපාලනබුද්ධ ශාසනය සුරැකීමට කැබිනට් අමාත්‍යාංශයක් ඇති කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බුද්ධ ශාසනය සුරැකීමට කැබිනට් අමාත්‍යාංශයක් ඇති කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබාදී ඇති බවත් රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයක් සහ බුද්ධ ශාසන අරමුදලක් ඇති කර සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න රාජ්‍ය නායකයා ලෙස සිය වගකීම ඉටු කළ බවත් රටේ උත්තරීතර නීතිය තුළ බුදු සසුන ශක්තිමත් කර ආරක්ෂා කිරීමට ඉහළතම ස්ථාවරයක් ලබාදෙන්න සඳහන් වී ඇති මොහොතක බුද්ධ ශාසන අමාත්‍යාංශයක් ස්ථාපිත කරන්න ලැජ්ජා වීම අවශ්‍ය නොවන බවත් බුද්ධ ශාසන කැබිනට් අමාත්‍යාංශයක අවශ්‍යතාව රටට අවශ්‍ය මෙන්ම සෙසු ආගම්වලට නිසි ස්ථාවරය ලබාදෙමින් ඒ ඒ ආගම් නියෝජනයට රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කළ යුතු වුවත් අද එය සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැති කඨින පුණ්‍යකර්මය සඳහා එක්වෙමිනි. වසර 5ක කාලයක සිට ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ වස් ආරාධනා කිරීම හා කඨින මහා පිංකමට දායකත්වය ලබාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ කටයුතු කර තිබේ.

අද වැනි යුගයක බෞද්ධ අප සියලු‍ දෙනාගේ පූර්ණ අවධානය සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා චිරස්ථිතිය උදෙසා ක්‍රියාත්මක කරන්නට සෑම බෞද්ධයකුම කටයුතු කළ යුතු බවත් සෑම අතකින්ම සම්බුද්ධ ශාසනය විවිධ බලවේග හා අභියෝගවලට ලක් වෙමින් ඇති බවත් යම් යම් විජාතික කණ්ඩායම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ ධර්මය විකෘති කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ස්වරීත්වය ඒකීයභාවය සංහිඳියාව සහෝදරත්වය අතිශයින්ම ශක්තිමත් වන තත්ත්වයක් මේ තුළින් නිර්මාණය වන බැවින් කළ හැකි උපරිමය ඉටු කරන බවත් මෙරට තුළ නැවත වරක් බුද්ධ ශාසන අමාත්‍යාංශයක් ස්ථාපිත විය යුතු සේම අනෙකුත් ආගම් නියෝජනය වන රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත විය යුතු බවත් සංහිඳියාව කට වචනයට ප්‍රකාශයට පමණක් සීමා නොවී සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබාදෙමින් සියලු‍ ජාතීන් අතර එකමුතුභාවය සහෝදරත්වය ක්‍රියාත්මක විය යුතු බවත් මේ තුළින් සාමය සමෘද්ධිය සෞභාග්‍ය උදාවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අටමහා කුසල් අතරින් ශ්‍රේෂ්ඨතම පුණ්‍යකර්මය වන්නේ කඨින මහා පිංකම බවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ විනය නීතිවලින් සමන්විත චාරිත්‍රානුකූලව වර්ෂයකට එක් වරක් පමණක් එකම විහාරස්ථානයක සැදැහැවතුන්ගේ මූලිකත්වයෙන් සිදුවන එකම පිංකම ලෙස මෙය හැඳින්විය හැකි බවත් මේ පිංකම් සංස්කෘතිය අඛණ්ඩව නොකඩවාම එදා රජ දවසේ සිට ක්‍රියාත්මක වූ බවත් මේ ක්‍රියාදාමය ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ආගමික සංවර්ධන ක්‍රියාදාම ඇතුළත්ව සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සිදු කරන සෑම ක්‍රියාදාමයකටම සහයෝගය ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තිස්සමහාරාම රජමහා විහාරස්ථානය, මහියංගන විහාරස්ථාන, සෝමාවතී විහාරස්ථානය, ශ්‍රී දළදා මාළිගාව, තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන 22කට වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබාදී ඇති බවත් ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මේ කාර්ය සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම වසරකම ඔක්තෝබර් මාසයට යෙදී ඇති කඨින මහා පුණ්‍ය උත්සවය නිමිති කරගෙන ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බැතිබර දායකත්වයෙන් මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍යාමෝපාලී මහා වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක, ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා ආශිර්වාද ඇතිව ඔක්තෝබර් 17 සහ 18 යන දෙදින තුළ මෙම කඨින මහා පුණ්‍ය උත්සවය පැවැත්විණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments