Homeසියලුම පුවත්බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වීමේ ලකුණු

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වීමේ ලකුණු

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වීමේ ලකුණු

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන කලාපය අද (24) දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී හෙට (25) දිනය වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් 26 වනදා උදෑසන වනවිට සුළි කුණාටුවක් බවටත් පත්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ.

මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, ඒ වෙත ඇදී යන සුළං ප්‍රවාහ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය ඉහළ යා හැකි බවට අනාවැකි පළ කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි ඇති වීමේ හැකියාවක් පවතී. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ද අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, එම ප්‍රදේශවල සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.

මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50–60 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එය පැයට කිලෝමීටර් 60–70 දක්වා ඉහළ යා හැකි බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments