Homeසියලුම පුවත්.මහාධිකරණ විනිසුරුවරයෙකු සාක්ෂියට කැඳවීමේ ක්‍රියාවලියට අතුරු තහනමක්

.මහාධිකරණ විනිසුරුවරයෙකු සාක්ෂියට කැඳවීමේ ක්‍රියාවලියට අතුරු තහනමක්

කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා සාක්ෂි ලබාදීම සඳහා කැඳවමින් නිකුත් කර තිබූ සිතාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ජනාධිපති නීතිඥවරුන් වන උදිත ඉගලහේවා, ෆර්මාන් කාසීම් සහ නීතිඥ සුගත් කල්දේරා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවා තිබුණි.
යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුවකට අදාළව, සහන් මාපා බණ්ඩාර මහතා නුගේගොඩ දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ සමයේ නිකුත් කළ නියෝගයක් පිළිබඳව විමසීම සඳහා ඔහු සාක්ෂියට කැඳවා ඇති බව පෙත්සමේ සඳහන් වේ.
විනිසුරුවරයෙකුගේ නිල රාජකාරියට අදාළ කරුණු සම්බන්ධයෙන් ඔහු සාක්ෂියට කැඳවීම අධිකරණ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට බලපාන බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.
ඒ අනුව, අදාළ සිතාසිය මත ඉදිරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අභියාචනාධිකරණය, පෙත්සම යළි ජුනි 12 වැනිදා කැඳවීමට නියම කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments