Thursday, November 13, 2025
Homeදේශීයමාලිමා නාගරික මන්ත්‍රීනියගේ විදුහල්පති සැමියා හෙරොයින් සමග මාට්ටු

මාලිමා නාගරික මන්ත්‍රීනියගේ විදුහල්පති සැමියා හෙරොයින් සමග මාට්ටු

හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක 59 හැවිරිදි විදුහල්පතිවරයෙකු සහ 22 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බව පොලිසිය ඇස්තමේන්තු කර ඇත.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඒකාබද්ධව ඊයේ (05) මෙම වැටලීම සිදුකරන ලදී.

සැකකාර විදුහල්පතිවරයා විසින් එප්පාවල, ඇදගල ප්‍රදේශයේ කුලී පදනම මත පවත්වාගෙන ගිය හෝටලයක් ඉලක්ක කර ගනිමින් මෙම පරීක්ෂාව සිදු කර ඇත. එහිදී හෝටල් භූමියේ පිටුපස වළ දමා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 185 ක තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. එම අවස්ථාවේ විදුහල්පතිවරයා සමග සිටි අනෙක් තරුණයා පරීක්ෂා කිරීමේදී, ඔහු සතුව තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 50 ක ප්‍රමාණයක් සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳගෙන් පොලිසිය මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී. ඇය පෑලියගොඩ නගර සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකි. පොලිස් විශේෂ කණ්ඩායමක් ඊයේ සවස් භාගයේ ඇය පදිංචි පෑලියගොඩ ප්‍රදේශයේ නිවස පරීක්ෂාවට ලක් කළ ද, සැකකටයුතු කිසිවක් එහි තිබී සොයාගෙන නොමැත. කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් පක්ෂය නිසියාකාරව දැනුවත් නොකිරීම හේතුවෙන් අදාළ මන්ත්‍රීවරියට එරෙහිව පියවර ගන්නා බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කර තිබේ.

මීට මාසයකට පමණ පෙර සැකකාර විදුහල්පතිවරයාගේ 30 හැවිරිදි පුත්‍රයා ද හෙරොයින් ග්‍රෑම් 50 ක් පමණ සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව පොලිසිය පවසයි. විදුහල්පතිවරයා සහ ඔහුගේ පුත්‍රයා මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇති බවත්, මන්ත්‍රීවරිය වන බිරිඳ ද නිතර මෙම ස්ථානයට පැමිණ නවාතැන් ගන්නා බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම වැටලීම “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමගාමීව සිදු කර තිබේ. හෝටලය පරීක්ෂා කිරීමේදී අසල පිහිටි වැවකට දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් ඇසුරුම් කරන යන්ත්‍රයක් (සීලර්) ද පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට මෙම මත්ද්‍රව්‍ය තොගය ලැබුණු ආකාරය පිළිබඳව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments