Homeසියලුම පුවත්මාස පහකට පෙර අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය මාස දෙකක බිළිඳියක් සමඟ...

මාස පහකට පෙර අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවකින් සොයාගැනේ

නකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්න උඩුදුම්බර පොලිස් වසමේ මීමුරේ, කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් මාස පහකට පමණ පෙර අතුරුදන්ව තිබූ අතර, ඇය මාස දෙකක් වයසැති බිළිඳියක් සමඟ ගල් ගුහාවක සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් උඩුදුම්බර පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර, ඒ අනුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබිණි.විමර්ශන අතරතුර ප්‍රදේශයේ වෙළෙඳසැලකින් පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සහල් ප්‍රමාණයක් දිනපතා රැගෙන යන තරුණයෙකු පිළිබඳව පොලිසියට සැක මතුවී ඇත.ඒ අනුව එම තරුණයා පිළිබඳව විමසිල්ලෙන් සිටි පොලිස් නිලධාරීන් ඔහු පසුපස ගොස් ජනාවාසවලින් ඈත්ව පිහිටි කැලෑ ප්‍රදේශයකට ළඟා වී තිබේ.එහිදී ඉටි රෙදිවලින් ආවරණය කළ ගල් ගුහාවක් තුළ මාස දෙකක බිළිඳියක් සමඟ සිටි දැරිය සොයාගෙන ඇත. ඇය මාස පහකට පෙර අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී තිබූ 15 හැවිරිදි දැරිය බව පොලිසිය තහවුරු කරගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳියගේ පියා බව කියන 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, බාලවයස්කාර මව සහ බිළිඳියද පොලිස් භාරයට ගෙන ඇත.පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ දැරිය ගල් ගුහාව තුළදීම බිළිඳිය ප්‍රසූත කර ඇති බවයි.දරු ප්‍රසූතියෙන් පසු බිළිඳියගේ පෙකණි වැල කිතුල් කර්මාන්තයේදී භාවිත කරන තියුණු ආයුධයකින් කපා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.කැලෑවෙන් සොයාගත් බව කියන අත්බෙහෙත් භාවිත කර මවට සහ බිළිඳියට ප්‍රතිකාර ලබාදී ඇති බවත්, කිතුල් පැණි සෑදීමට භාවිත කරන තාච්චියක බිළිඳිය නහවා ඇති බවත් 23 හැවිරිදි තරුණයා පොලිසියට පවසා ඇත.මෙම සිද්ධියට අදාළව තරුණයාට සහාය ලබාදුන් බව කියන ඔහුගේ 36 හැවිරිදි ඥාතියෙකුද උඩුදුම්බර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් භාරයට ගත් මව සහ බිළිඳිය පිරිසිදු කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට යොමු කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments