තමන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ නමින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු තැන්පතු හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියක හා එක් දියණියකගේ සැමියා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03දා) ප්‍රතික්ෂේප කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි සහකාර අධ්යක්ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය ප්රමුඛ පිරිස කළ කරුණු දැක්වීම් සලකා බැලූ ජනක් ද සිල්වා, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් වී. අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමට තරම් ප්‍රමාණවත් නෛතික කරුණු තම අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවට නිගමනය කොට වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී යාපා වැයිහේන, ඇගේ දියණියකගේ සැමියා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය හා දියණියක වන චන්දුලී රමාලි රඹුක්වැල්ල ගොනුකර තිබූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, එහි අධ්යක්ෂ ජනරාල්වරයා අල්ලස් හෝ දූෂණ විමර්හන කොමිෂන් සභාවේ අංක දෙක විමර්ශන ඒකකයේ සහකාර අධ්යක්ෂ ආර්. සුමේන්ද්රා, කොමිෂන් සභාවේ සභාපති ප්රමුඛ කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් නම් කොට තිබිණි.
එකී පෙත්සම්කරුවන් තිදෙනා නමින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය රුපියල් මිලියන 44 කට අධික වටිනාකමින් යුත් ස්ථාවර බැංකු ගිණුම් දෙකක් හා ජීවිත රක්ෂණ ඔප්පුවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් 2024.06.27 වැනිදා දින 7 කට තහනම් කොට තිබිණි. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 53 (1) වගන්තිය ප්‍රකාරව එකී තහනම් කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයට කරුණු වාර්තා කොට එකී තහනම් නියෝගය බලාත්මක කර තිබිණි. ඊට අමතරව 2024.11.11 වැනිදා ද කොළඹ මහාධිකරණයට කරුණු දක්වා එකී පෙත්සම්කරුවන් නමින් වෙනත් බැංකු කිහිපයක පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුමක්, ඉතිරි කිරීමේ ගිණුම් කිහිපයක් හා රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී වාහනයක් තහනමට ලක්කර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ලියා සකස් කර තිබූ එම නියෝගය සෙසු සාමාජික විනිසුරුවරුන් දෙපළගේ එකඟත්වය ඇතිව ප්‍රකාශයට පත් කෙරිණි.
සහකාර අධ්යක්ෂ අනුෂා සම්මන්දප්පෙරුම, සහකාර අධ්යක්ෂ ගයා රාජපක්ෂ සමග නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුභාෂිණී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටියාය. රජයේ අධිනීතිඥ නවෝදි ද සිල්වා මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පළමුවන වගඋත්තරකරු ලෙස නම්කොට තිබූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටියේය

