Homeසියලුම පුවත්ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ හේතුව සමාගම පැහැදිලි කරයි – සිලින්ඩරයකට රු.1,775ක...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ හේතුව සමාගම පැහැදිලි කරයි – සිලින්ඩරයකට රු.1,775ක වැඩිවීමක්

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් ඇති වූ පිරිවැය පියවා ගැනීම සඳහා බව එම සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසයි.මෙම මිල සංශෝධනයෙන් සමාගම අමතර ලාභයක් අපේක්ෂා නොකරන බවත්, එය පිරිවැය පියවා ගැනීම සඳහා සිදුකළ සංශෝධනයක් පමණක් බවත් ඔහු අවධාරණය කර තිබේ.ගෑස් මිල තීරණය කිරීමේදී සෞදි අරාම්කෝ සමාගම සෑම මාසයකම ආරම්භයේදී ප්‍රකාශයට පත් කරන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ප්‍රධාන සාධකයක් වන බවද ඔහු පෙන්වා දී ඇත.මෙම වසර ආරම්භයේ සිට පැවති යුදමය තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම නිසා කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයකට රුපියල් 706ක අමතර පිරිවැයක් එකතු වී තිබේ.ඊට අමතරව නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාමෙන් රුපියල් 417ක පිරිවැයක්ද, විනිමය අනුපාත වෙනස්වීමෙන් රුපියල් 299ක පිරිවැයක්ද එකතු වී ඇති බව සමාගම පවසයි.එමෙන්ම සියයට 18ක වැට් බද්ද ලෙස රුපියල් 256ක් සහ බැංකු ණය හා ණයවර ලිපි (LC) සම්බන්ධ මූල්‍ය පිරිවැය ලෙස රුපියල් 90ක්ද අදාළ මිල සංශෝධනයට ඇතුළත් වී ඇත.සමාගම පෙන්වා දෙන පිරිවැය මෙසේය:- ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම – රු. 706- නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු – රු. 417- විනිමය අනුපාත වෙනස්වීම – රු. 299- වැට් බද්ද – රු. 256- මූල්‍ය පිරිවැය – රු. 90මෙම සියලු පිරිවැය එකතු කළ විට රුපියල් 1,769ක මිල වැඩිවීමක් අවශ්‍ය වුවද, සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර තිබේ.කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස කොටස් හිමියන්ට මෙන්ම බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලටද සමාගම වගකීමට බැඳී සිටින බැවින් පාඩු ලබන මිලකට ගෑස් අලෙවි කළ නොහැකි බවද ඔහු පෙන්වා දී ඇත.ඒ අනුව මෙම මිල සංශෝධනය ලාභ ඉපයීමේ අරමුණින් නොව, සමාගමට දැරීමට සිදුව ඇති පිරිවැය පියවා ගැනීම සඳහා සිදුකළ එකක් බව ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් පැහැදිලි කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments