Thursday, November 13, 2025
Homeදේශීයවිද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගය අවසන්

විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගය අවසන්

යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මරණීය දඬුවමට නියම වූ විත්තිකරුවන් 07 දෙනා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් විභාගය අවසන් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීය.

මෙම අභියාචනා විභාගය අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් ඉදිරියේ පැවැත්විණි.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙන්වා දුන්නේ, නඩු විභාගයේදී විද්‍යා දැරිය පැහැරගෙන යාමට හෝ මරණයට සම්බන්ධ බව තහවුරු කරන ඕනෑම ප්‍රකාශයක් හෝ සාක්ෂියක් ඉදිරිපත් නොවූ බවය.

නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා සඳහන් කළේ, විද්‍යා දැරියගේ දූෂණය වීඩියෝගත කර ස්විට්සර්ලන්තයේ මාෆියා කණ්ඩායමකට විකිණීම එම සමූහයේ අරමුණ වූ බවය.

ඒ අනුව ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් පෙනී සිටි විත්තිකරුවන්ට නියම කළ මරණීය දඬුවම නීත්‍යානුකූල බවත්, ඔවුන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කළ යුතු බවත් රජයේ පාර්ශවය ඉල්ලා සිටියේය.

අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දිනක් නියම නොකර කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල තීරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments