Saturday, November 22, 2025
Homeදේශීයවිදේශ සේවා නියුක්ති කාර්යාංශයටත් අමතක වූ රේන්බෝ විදේශ රැකියා මාෆියාවට එරෙහිව විපක්ෂ...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත් අමතක වූ රේන්බෝ විදේශ රැකියා මාෆියාවට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස අධිකරණයට

මේ මොහොත වන විට 500කට අධික පිරිසක් රුමේනියාවේ රැකියා යවනවා කියා රේන්බෝ විදේශ රැකියා ආයතනය විසින් රු. 850000ක්, රු. 1850000ක් ආදී වශයෙන් මිලියන ගණනක් එකතු කර ගෙන ඇතත් මෙම රැකියා ලබා දී නොමැති බවත් අද මොවුන් මහපාරට වැටී ඇති බවත් නිවාස දේපල ආදිය උගස් කර ණයට මුදල් ලබා ගෙන අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මහරගම රේන්බෝ විදේශ රැකියා ආයතනය විසින් රුමේනියා රාජ්‍යයේ රට රැකියා ලබා දෙන බව පවසා විශාල මුදලක් ලබා ගෙන 500කට ආසන්න පිරිසක් අතරමං කර ඇති බවට පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයට පැමිණ එම පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවසුවේය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා නීති සහාය ලබා දෙන බවට පොරොන්දු වූ අතර අද එම නඩුව කැදවූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ පරිදි නීතිඥයන් සමඟ එම අවස්ථාවට පැමිණියේය. එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

කම්කරුවන්, රණවිරුවන් ආදී විවිධ වෘත්තිකයන් ආර්ථික අපහසුතා හමුවේ රට රැකියාවකට ගොස් තම පවුලට ශක්තියක් වෙන්න හිතුවත් අද වන විට දැවැන්ත මූල්‍ය වංචාවකට හසු වී ඇති නිසා මේ ගැන සොයා බලන්න ආරක්ෂක අංශවල යම් යම් පාර්ශ්ව හොද උනන්දුවක් දැක්වූවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මේ ගැන හරිහැටි සොයා බල නොමැති බවත් ලියාපදිංචි යැයි කියන මෙම ආයතනය ගැන සොයා බැලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශය ගෙන ඇති පියවර ගැන සෑහීමකට පත්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ ගැන පාර්ලිමේන්තුවේ මෙන්ම උපදේශක කාරකසභාවල ද කතා කර මුදල් හෝ රැකියා ලබා දීමට කටයුතු කරන බවත් මේ වෙනුවෙන් දැක්විය හැකි උපරිම දායකත්වය නෛතික රාමුව තුළ සිදු කරන බවත් ඊට අදාළ නීතිඥ සහාය ලබා දීමට ද කටයුතු කරන බවත් රටේ අධිකරණය ගැන ලොකු විශ්වාසයක් සහ ගරුත්වයක් ඇති නිසා මොවුන්ට යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට අවශ්‍ය සැනකෙළි සෝබන සටන්පාඨ නොව උත්තර සහ විසඳුම් නිසා ඒ උත්තර හා විසඳුම් ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments