වත්මන් රජය සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂ හිතවතුන් රාජ්‍ය සේවයට පත් කරමින් ඉතිරිව පවතින වෘත්තීය රාජ්‍ය සේවයද විනාශ කරමින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කළාය.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් මගින් ඇය මෙම අදහස් පළ කර ඇති අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරයක් සඳහා අරමුදල් අනුමත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳවද විශේෂයෙන් සඳහන් කර තිබේ.
සමන් ඒකනායක පෞද්ගලිකව හඳුනන බවත්, ඔහු අවංක සහ උසස් වෘත්තීය මට්ටමක රාජ්‍ය නිලධාරියෙකු බවත් ඇය සඳහන් කළාය.
යුක්තිය පසිඳලීම තෝරාගත් පිරිසකට පමණක් සීමා වීම රටේ පාලන පද්ධතියට බරපතළ තර්ජනයක් බවද ඇය අවධාරණය කළාය. වෘත්තීය, කාර්යක්ෂම හා අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ඉදිරියට යා නොහැකි බවත්, රට පාලනය කිරීමේදී වෘත්තීය නිලධාරීන් මත විශ්වාසය තැබිය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

