‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම තිබුණද ශ්‍රී ලංකාවේ ආර්ථිකය මනා මූල්‍ය විනයකින් පවත්වාගෙන යන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
කෘත්‍රීම බුද්ධි සහ ඩිජිටල් යුගයේ ආර්ථික වර්ධනය මැයෙන් කොළඹදී පැවති සමුළුවක් අමතමින් ඔහු පැවසුවේ, රජයේ බැංකු දෙකෙහිම රුපියල් ට්‍රිලියනයකට ආසන්න අතිරික්තයක් පවත්වා ගැනීමට හැකි වී ඇති බවයි.
ආර්ථික අර්බුදයට පෙර එම බැංකුවල රුපියල් ට්‍රිලියනයක හිඟයක් පැවති බවත්, දැන් එය අතිරික්තයක් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය. එම ඉතිරිය හේතුවෙන් රජයට අමතර ණය ගැනීම අවශ්‍ය නොවූ බවද පැවසීය.
2025 වසර තුළ ඩොලර් මිලියන 3,934ක් ණය වාරික ලෙස ගෙවා අවසන් කර ඇති බවත්, මෙම වසර තුළ ඩොලර් බිලියන 8ක ආරක්ෂිත සංචිතයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.
උද්ධමනය මේ වන විට 2%කට ආසන්න අගයක පවතින බවත්, එය 5% සීමාව ඉක්මවා නොයෑම ප්‍රධාන ඉලක්කය බවත් ඔහු අවධාරණය කළේය.
‘දිට්වා’ සුළිකුණාටුවෙන් සිදු වූ හානි, මුල් ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 4.1ක තක්සේරුවට වඩා අඩු විය හැකි බවත්, ලබන වසරේ සිට 5%ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

