Thursday, March 5, 2026
Homeදේශීයසම්පත් මනම්පේරිට නැවතත් දින 90ක රැඳවුම් නියෝගයක්

සම්පත් මනම්පේරිට නැවතත් දින 90ක රැඳවුම් නියෝගයක්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ රඳවාගෙන සිටි සම්පත් මනම්පේරි නැමැත්තා තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම බන්ධනාගාරගතව සිටින පියල් මනම්පේරි නැමති සැකකරු එළැඹෙන ජනවාරි 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් අද (24) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය විසින් මෙම නියෝග ලබා දී ඇත.

මෙහිදී පොලිසිය වෙනුවෙන් කරුණු දක්වමින් උප පොලිස් පරීක්ෂක V.F.S. පෙරේරා මහතා සඳහන් කළේ, සම්පත් මනම්පේරිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බවයි.

ඒ අනුව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ වැඩිදුර විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බැවින්, සැකකරු තවත් දින 90ක් රඳවා තබන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ජයලත් මහතා මෙම ඉල්ලීමට විරෝධය පළ කරමින්, මෙතෙක් සිදුකළ විමර්ශනවල වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එමෙන්ම සැකකරු සන්තකයේ තිබූ වාහන තුනක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් භාරයට ගෙන ඇති බවත්, ඒවා මෙම අපරාධවලින් උපයාගත් වත්කම්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විසින් ඉහත නියෝග නිකුත් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments