හම්බන්තොට දිස්ත්රික්කයේ මහවැලි ගොවීන්ට නිසි පරිදි ජලය නොලැබෙන පසුබිමක, දේශපාලන බලපෑම් මත DC 7 ඇළ මාර්ගයෙන් වෙනත් ගොවීන් පිරිසකට ජලය ලබාදීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් මහවැලි ගොවීන් විරෝධතාවයක නිරත වී තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක් භාවිත කර නීති විරෝධී ලෙස, හම්බන්තොට කෑලියපුර ප්රදේශයේ DC 7 ඇළෙන්, හම්බන්තොට ස්වර්ණමාලි වැව ආශ්රිත මහවැලි නොවන ගොවීන් පිරිසකට ජලය ලබාදීමට යම් පිරිසක් කටයුතු කරන බව ගොවීන් පවසයි.
පසුගිය 03 වැනිදා ජලය ගෙනයාම සඳහා අදාළ කණුවේ පිළිසකර කිරීමක් සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්රශ්න කළ අවස්ථාවේ වැසි ජලය ගෙනයාම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ඇතිව කටයුතු සිදුකරන බවට අදාළ පාර්ශවයන් පවසා ඇති බව ගොවීන් කියා සිටී.
කෙසේ වෙතත්, පසුගිය 04 වැනිදා වන විට එම කණුව DC 7 ඇළ මාර්ගය දක්වා දිගු කර, ඇළට කොන්ක්රීට් බෝක්කුවක් දමා ඇළ මාර්ගය හරස් කර ඇති බවට ගොවීන් චෝදනා කරති.
මෙම සිදුවීම පිළිබඳ විරෝධය දක්වමින් අද (05) පෙරවරුවේ මහවැලි ගොවීන් හම්බන්තොට මයුරපුර මහවැලි කොට්ඨාශ කළමනාකරණ කාර්යාලයට පැමිණ කොට්ඨාශ කළමනාකරු වෙත ලිපියක් භාරදීමට උත්සාහ කළහ.
එහෙත්, ගොවීන්ගේ ගැටලුවට නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් හට ගත් අතර, පසුව පොලීසිය මැදිහත් වී කොට්ඨාශ කළමනාකරු සමඟ සාකච්ඡාවක් සංවිධානය කළ ද ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබී නොමැති බව සඳහන් වේ.
එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ සිටි අම්බලන්තොට ප්රාදේශීය සභාව සහ හම්බන්තොට මහ නගර සභාව නියෝජනය කරන මාලිමා මන්ත්රීවරුන් දෙදෙනෙකු මැදිහත් වූ අතර, එයත් සමඟ ගොවීන් සහ ඔවුන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.
ගොවීන් පවසන්නේ, ගොවීන් හා නිලධාරීන් අතර පවතින ගැටලු සඳහා දේශපාලනඥයන්ගේ අනිසි මැදිහත්වීම් තමන් අපේක්ෂා නොකරන බවය.
කෙසේ වෙතත්, අදාළ සිදුවීමට දැඩි විරෝධය පළ කරමින්, සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගන්නා බව පවසමින් ගොවීන් එම ස්ථානයෙන් පිටව ගිය බව සඳහන් කරයි

