2022 මැයි 09 වැනිදා දිවයින පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස හා දේපළ හානි වූ හිටපු මැති ඇමැතිවරුන් 43 දෙනකුට ගෙවා ඇති රුපියල් බිලියන 1.22 ක වන්දි මුදල් පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර අයුතු ලෙස ගෙවා ඇති මුදල් ආපසු අය කරගැනීමට බලධාරීන්ට නියෝගයක් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් අතරින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු 7 දෙනකු හැර අනෙක් වගඋත්තරකරුවන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව නීතිපතිවරයා ඊයේ (13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස ගෝඨාභය රාජපක්ෂ, දෙවන වගඋත්තරකරු ලෙස හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් නම් කොට තිබිණි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ තුන්වන වගඋත්තරකාර හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා, හයවන වගඋත්තරකාර හිටපු ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ, දහවන වගඋත්තරකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හා 15 වන වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින බවයි. එම කරුණු සලකා බැලූ ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන විනිසුරු මඩුල්ල එම පෙත්සම සලකා බැලීම ලබන වසරේ ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.
එමෙන්ම නීතිපතිවරයා පෙනී නොසිටින්නේ යැයි ප්‍රකාශ කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය ටිරාන් අලස් හා විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් යන මහත්වරුන්ගේ නිවැරදි ලිපිනයක් එදිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.
නීතිඥ මනෝජ් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතිඥ විහංග රොද්‍රිගෝ මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් මහතා පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා වෙනුවෙන් පෙනී සිටියේය

