ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නැවත සවිබල ගැන්වීම සඳහා, අමාත්‍යාංශ සැලසුම්වලට අනුකූලව “සාධාරණත්වය සහ ගුණාත්මකභාවය” යන තේමාව යටතේ සකස් කළ යුනිසෙෆ් සැලැස්මක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත ඉදිරිපත් කර තිබේ.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන විද්‍යාපීඨ හා වෘත්තීය පුහුණු ආයතනවල අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම මෙම සැලසුමේ ප්‍රධාන අරමුණයි.
ඒ අනුව හානි වූ අධ්‍යාපන ආයතන කඩිනමින් පිළිසකර කිරීම, සම්පූර්ණයෙන් විනාශ වූ පාසල් සඳහා විකල්ප ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සහ සිසුන්ට අහිමි වූ පොත්පත් හා උපකරණ නැවත ලබාදීම වැනි ක්‍රියාමාර්ග මෙහි ඇතුළත් වේ.
එමෙන්ම සිසුන්ගේ මානසික යහපැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කිරීම, ආබාධ සහිත සහ විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කිරීම, විෂය කාලසටහන් නම්‍යශීලී කිරීම සහ ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වාදීම ද මෙම සැලසුමේ අන්තර්ගතය ලෙස සඳහන් වේ.

