Friday, October 24, 2025
Homeදේශීයකුලී ඝාතකයා හඳුනා ගැනේ..! වැලිගම සභාපති මැරුවේ පැන ගිය සෙබළකුට දුන් ඕඩරයට

කුලී ඝාතකයා හඳුනා ගැනේ..! වැලිගම සභාපති මැරුවේ පැන ගිය සෙබළකුට දුන් ඕඩරයට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දකුණු පළාතේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක් විසින් යුද හමුදාවෙන් පළා ආ සෙබළකුට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ඝාතනය සිදුකළ පාතාල කුලී ඝාතකයා මේ වනවිට හඳුනාගෙන ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ පටිගත වී තිබූ සීසීටීවී දර්ශන ඔස්සේ කළ විමර්ශනයකදී කුලී ඝාතකයා හඳුනාගැනීමට හැකි වූ බව විමර්ශන කණ්ඩායම් පවසයි.

මේ අතර මෙම කුලී ඝාතකයා සහ යතුරුපැදිය පැදවූ පාතාල සාමාජිකයා ලසන්ත වික්‍රමසේකර ඝාතනය කර පලාගිය මාර්ගය සොයා ගැනීමට ප්‍රදේශයේ සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමේ කටයුතු පොලිසිය ඊයේ සිට ආරම්භ කර තිබිණි. ඝාතනයට පැමිණි වෙඩික්කරු තවත් සගයෙකු සමග යතුරුපැදියකින් පළාගොස් අතරමගදී දෙදෙනා යතුරුපැදි දෙකකින් පළාගිය බවට ලැබී ඇති තොරතුරු ඔස්සේ ද පොලිස් පරීක්ෂණ පවත්වයි.

මේ අතර මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ හුවමාරු වූ දුරකථන විශ්ලේෂණ වාර්තාද පොලිසිය ලබාගෙන ඇති අතර ඒ ඔස්සේ ද වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම ඝාතනයට මිදිගම රුවන් මිදිගම චූටි සහ හරක්කටා නමැති පාතාල මැරයන්ගේ සම්බන්ධයක් ඇති බවට ලැබුණු තොරතුරු මත ඒ ඔස්සේද විමර්ශන පවතවාගෙන යයි. ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමසේකර පසුගිය කාලය පුරාම දැඩි මරණ බියකින් පසුවී ඇති බවද හෙළි වී ඇත.

මේ මරණ භීතිය නිසාම මොහු පදිංචි ස්ථාන පවා වෙනස් කරමින් රහසිගත ජීවිතයක් ගත කිරීමට පුරුදුව සිට ඇති බව විමර්ශන නිලධාරීහු කියා සිටිති.

පොලිසිය සීසීටීවී කැමරා ඔස්සේ යයි
ලසන්තට එල්ලවී තිබූ තර්ජන නිසා ඔහු පෞද්ගලික ආරක්ෂකයන් පහළොස් දෙනෙක් පමණ ළඟ තබා ගෙන සිටි බවද හෙළි වී ඇත. එහෙත් මෙම ඝාතනය සිදුවූ අවස්ථාවේ ඔහු සමීපයේ ඒ එකදු ආරක්ෂකයකු හෝ සිට නොමැති බවද අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු වී ඇත.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සිය අධීක්‍ෂණය යොමු කර ඇති අතර දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments