එක්සත් ජනපදයට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම අඩු නොකළහොත් කොලොම්බියාව සහ මෙක්සිකෝවට හමුදා ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ට්‍රම්ප් සමඟ පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කොලොම්බියාවේ තත්ත්වය පිළිබඳ විමසීමේදී, ඔහු කොලොම්බියානු ජනාධිපතිවරයා දැඩිව විවේචනය කරමින්, කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර එක්සත් ජනපදයට විකිණීමේ කටයුතුවල නිරත පිරිසක් විසින් එරට පාලනය වන බවට ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම ක්‍රියාකාරකම් දිගටම සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ඔහු සඳහන් කළේය.
මෙක්සිකෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම්ට සිය රට පාලනය කරගැනීමට නොහැකි වී ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එරට ප්‍රබල බලපෑමක් දරන බවයි.
මේ අතර වෙනිසියුලාව පිළිබඳවද අදහස් දක්වමින් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ, වෙනිසියුලා පරිපාලනයේ ඉතිරි සාමාජිකයින් එක්සත් ජනපදය විසින් රට ශක්තිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට සහය නොදක්වන්නේ නම්, එරටට එරෙහිව දෙවන හමුදා ප්‍රහාරයක් දියත් කළ හැකි බවය.

