Sunday, April 27, 2025
Homeසියලුම පුවත්ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (මාර්තු 8) යෙදි තිබේ.

කාන්තා විමුක්තිය පිළිබඳව වැඩි පිරිසක් අවධානය යොමු කරමින් කතා කරන දවසය මෙයයි. නායකකාරකාදීහු සුබ පණිවුඩ නිකුත් කරති. අපි කාන්තාවන්ගේ ගැලවුම්කරුවෝ වෙමුයි පවසති. වසරේ එක් දවසක් මෙසේ කතාබහ කළාට අවධානය යොමු කළාට කාන්තා ගැටලු විසඳෙන්නේ නැත. එසේ විසඳුණා නම් මෙසේ ජාත්‍යන්තර කාන්තා දිනයක් එළැඹෙන තුරා බලා සිටින්නට අවශ්‍ය නැත. කෙසේ වෙතත්, මේ සටහන අද දවස උදෙසා නොව හෙට දවස වෙනුවෙනි.

සිංහල පද්‍ය ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටුකොට ලොව හැරගිය මොනිකා රුවන්පතිරණ කිවිඳිය ‘ඔබෙ යෙහෙළිය ඇය ගැහැනිය’ නමින් කවිපොතක් ලියා ඇත.

දැරියක සේ ඉපිද සිසුවියක සේ දැන උගෙන තරුණියක සේ ජීවිතයේ අරුමය වටහාගෙන මවක සේ දරු සෙනෙහස අත්විඳිමින් මැහැල්ලක සේ ලොවින් සමුගෙන යන ජීවන ගමනේ නිදහස් නවාතැන් පොළක විඩා නිවන්නට සැදීපැහැදී සිටියත් තම සිහින, පැතුම් ඉටු කරගන්නට සමත්වනු ඇත්තේ කීයෙන් කී දෙනා ද?

රට තුළ අර්බුද, වියවුල් නිර්මාණය වුණු හැම මොහොතකම රණබිමට පෙරමුණට ගිය බහුතරය පිරිමි වෙති. යුද පෙරමුණෙහි සෙබළ ගණ දිවි පිදූ කල දරුවන් සමග හුදෙකලා වුණු අඹුවකට මුහුණ දෙන්නට සිදුවන ගැටලු කොපමණ ද? පිරිමින්ට ද එබඳු ඛේදනීය අත්දැකීම්වලට මුහුණ දෙන්නට නොසිදුවෙතියි කිව නොහැකි නමුදු, හුදෙකලා වූ ගැහැනිය වඩාත් අසරණ වනු නොවැළැක්විය හැකි ය.

ගතානුගතික, සාම්ප්‍රදායික අතීත සමාජයෙහි කාන්තා විමුක්තිය යනු අවධානයට පාත්‍රනොවූ කාරණයකි. සමාජයෙහි පුරුෂ පක්ෂයට යම් තීරණාත්මක ස්ථානයක් හිමිකොට තිබේ ද ඊට සමාන්තරව ස්ත්‍රියට ද නිසි ස්ථානය හිමිකොට දිය යුතු බව බෞද්ධ සංකල්පයයි.

ඇතැම් ආගමික මතවාද අනුව එම තත්ත්වය ප්‍රශ්නගතව ඇතත් වර්තමානයෙහි ඒ සම්බන්ධව පුළුල් කතිකාවතක් ගොඩනැඟී තිබේ. ඒ අනුව ස්ත්‍රී -පුරුෂ සමාජභාවය හේතුකොට ගෙන පුද්ගලයා නොසැලකිල්ලට භාජන නොවිය යුතුය යන්න වර්තමානයේ බහුතර අවධානය යොමුව තිබෙන කාරණයකි.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 12.2 වගන්ති ප්‍රකාරව නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතු ය. ස්ත්‍රී-පුරුෂභාවය මත පුද්ගලයන් වෙන්කොට සලකනු නොහැකිය. කාන්තා හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට ද එකඟතාව පළකොට තිබීම ද රහසක් නොවේ. 2024 වර්ෂයේ (අංක 34) කාන්තා බලගැන්වීම් පනතක්ද සම්මත කොටගෙන තිබේ. එම පනත යටතේ කොමිෂන් සභාවක් ද පිහිටුවා තිබේ.

මේ සියල්ල සලකා බලන කල කාන්තා හිමිකම් සුරක්ෂිත වනු පිණිස අවශ්‍ය වන නීතිමය රාමුව ස්ථාවරව තිබේ. එසේ වුව ද ගැටලු පැන නැඟී තිබෙන්නේ සදාචාරාත්මක සාරධර්ම හා පුද්ගල ආකල්පවල පරිහානිය සම්බන්ධවය.

මිලියන 22.16ක් වූ ශ්‍රී ලංකා ජනගහනයෙන් කාන්තාවන් 51.6%ක් බව කියයි. 50% ප්‍රමාණය ඉක්මවා යන අප රට වනිතා පරපුර පුරුෂ පක්ෂයට වැඩි තරම් වූ ගැටලු, අභියෝග රැසකට මුහුණ දෙමින් සිටීම රහසක් නොවේ. කාන්තා කටයුතු සම්බන්ධව වෙනම අමාත්‍යාංශයක් ද නිර්මාණය වූ රටක මේසා විශාල ගැටලු කන්දරාවකට ගැහැනියට මුහුණ දෙන්නට සිදුවූයේ කාගේ වරදින් ද? රට පාලනය හා ජනතා සාමය උදෙසා නීතිය නිර්මාණය කිරීමේ මූලික අභ්‍යාස ආයතනය වන පාර්ලිමේන්තුවෙහි ද පසුගිය ආණ්ඩු කාලපරිච්ඡේද කිහිපයක ම මන්ත්‍රිවරියන්ට මුහුණ දෙන්නට සිදුවුණු නොසැලකිලිමත්කම් ගැන අවධානය යොමු වී තිබිණි.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත පැමිණිලි යොමුකොට විශේෂ විමර්ශන පවත්වා දඬුවම් නියම කරන තැනටම ඇතැම් ගැටලු දුරදිග ගිය බව ද රහසක් නොවේ.

ඉකුත් ජනාධිපතිවරණ අවස්ථාවෙහි කාන්තා නියෝජනය සඳහා අපේක්ෂිකාවක් නොසිටීම විශේෂ අවධානයට ලක්වූ ගැටලුවකි. ඒ මොහොතේ පැවැති ගැටලුව දෛවෝපගතව නිරාකරණය වූයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය පත්වීමෙනි. ඇය ශ්‍රී ලංකාවේ තුන්වන අග්‍රාමාත්‍යවරියයි. අප රටේ පමණක් නොව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දෙවන අගමැතිවරියයි.

තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරන බව කියයි. එසේ වුවද කාන්තාවට හිමිවිය යුතු එකී ගෞරවය කෙලෙසාලන පිරි ස්ද වෙති. ඇතැම් පිරිස් අතර ගැහැනිය වෙළෙඳ බඩුවකි. විටෙක උපකරණයකි. තවත් විටෙක යන්ත්‍රයකි. වෙනස්විය යුත්තේ එකී මුග්ධ ආකල්පයයි. එකී ආකල්පය සමාජයෙන් බැහැර කරලිය හැකි වනු ඇත්තේ සමාජයටම ය. ඒ සඳහා සමස්ත සමාජය ම යෝධ පරිවර්තනයකට ලක්කළ යුතු ය. අදට දී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයෙහිදී අප කාගෙ කාගෙත් අභිප්‍රාය විය යුත්තේ ස්ත්‍රීත්වයේ ගෞරවය, ගාම්භීරත්වය සුරක්ෂිත කරලීමය.

ඇය ගැහැනිය බව සැබෑ ය. එහෙත් ඒ ඔබේ යෙහෙළිය මෙන් ම මව ද ගුරුවරිය ද වන්නීය. ඔබේ දිවි ගමනේ සරතැස නිවාලන සිහිල් ජලධාරව ද ඇයම ය. සැබැවින් ම ඇය සෙනෙහසේ ගීතයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments