අමෙරිකාවට බලපා ඇති ඩෙවින් හිම කුණාටුව හේතුවෙන් එරට ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වීමත් ප්‍රමාද වීමත් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව ප්රමුඛ ගුවන්ගමන් නිරීක්ෂණ දත්ත සමාගමක් වන FlightAware වෙබ් අඩවිය සඳහන් කර ඇති පරිදි, අමෙරිකා වේලාවෙන් පස්වරු 4 වන විට අමෙරිකාව තුළ සහ අමෙරිකාවට පැමිණෙන හෝ පිටත්ව යන ගුවන්ගමන් 1,581ක් අවලංගු කර තිබේ.
ඊට අමතරව ගුවන්ගමන් 6,883ක් ප්‍රමාද වී ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, නිව්යෝර්ක් නගරයට ඊයේ (26) රාත්‍රියේ මිලිමීටර් 250කට (අඟල් 10ක්) ආසන්න හිමපතනයක් සිදුව ඇති අතර, එය වසර හතරක කාලයකදී එම ප්‍රදේශයට බලපෑ වැඩිම හිමපතනය ලෙස සඳහන් වේ.
ඒ අනුව මේ වන විට මිලියන 40කට අධික ජනතාවක් ශීත කුණාටු අනතුරු ඇඟවීම් හෝ කාලගුණ උපදේශන යටතේ පවතින බවද වාර්තා වේ.
තවද කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිලියන 30කට ආසන්න ජනතාවක් ගංවතුර හෝ කුණාටු අවදානම් තත්ත්ව යටතේ සිටින බව සඳහන්.

