Tuesday, March 3, 2026
Homeදේශීයධීවරයින්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් හඳුන්වා දෙන...

ධීවරයින්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් හඳුන්වා දෙන ලදී

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙම රක්ෂණ ක්‍රමය මගින් ධීවරයන්ට විශේෂ ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව, වයස අවුරුදු 60 සිට මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ හැකියාව සහිතව, 75%ක් වාරික මුදල් ගෙවා ඇති දායකයින්ට මුළු මුදලට සරිලන මාසික වැටුපක් හිමිවනු ඇත. 25% සහ 75% අතර දායකයින්ට ද සම්පූර්ණ මුදල පොළිය සමග ලබා ගැනීමේ හැකියාව මෙම ක්‍රමයට ඇතුළත් වේ.

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර අර්ධ බෙලහීනතාවයකට ලක්වූ විට පාරිතෝෂික මුදලක් ලබා ගැනීමට, ස්ථීර බෙලහීනතාවයට පත්වූ විට උපරිම රු. 50,000ක පාරිතෝෂිකයක් ලබා ගැනීමට, හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ විට උරුමකරුට දායක මුදල පොළිය සමග ලබා ගැනීමට, වාරික මුදල් හැරුණු අවස්ථාවේ හිඟ මුදල සහ පොළිය ගෙවීමෙන් සහතික ඔප්පුව නැවත වලංගු කිරීමට, විශ්‍රාම වැටුප් ලබන අතරතුර දායකයා මිය යන විට මාසික වැටුප් කලාත්‍රයාට ලබා ගැනීමට සහ ඉතිරි මුදල එකවර ලබා ගැනීමට හැකියාවද මෙම යෝජනා ක්‍රමය මගින් හිමිවේ.

මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 22 වනදා කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේදී ආරම්භ විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments