මෙම වසර තුළ නව ඖෂධ නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPC) පවසයි.
ඒ අනුව පෙති සහ කරල් මිලියන 4,000ක ප්‍රමාණයක් මෙම වසරේදී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එම සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් ඖෂධ වර්ග 70ක් නිෂ්පාදනය කරමින් සිටින අතර, ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය පසුගිය වසරේ සිදු කිරීමටද එම සංස්ථාව සමත්ව ඇත. ඒ අනුව පෙති සහ කරල් මිලියන 3,625ක් පසුගිය වසරේදී නිෂ්පාදනය කර තිබේ.
එක් මාසයක් තුළ සිදු කළ වැඩිම ඖෂධ නිෂ්පාදනය ලෙස පෙති සහ කරල් මිලියන 385ක් ගිය වසරේ මාර්තු මාසයේදී නිෂ්පාදනය කර ඇති බවද සඳහන්ය.
පසුගිය වසරේදී නව ඖෂධ නිෂ්පාදන 5ක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇති අතර, වෛද්‍ය සැපයුම් අංශය විසින් ලබාදුන් සියලු ඇණවුම් කිසිදු හිඟයකින් තොරව සපයීමටද සංස්ථාව කටයුතු කර ඇත.
මේ අතර 2025 වර්ෂය සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 27.06ක් ලෙස සටහන්ව ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

