ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.
විහාරස්ථානයට අයත් ඉඩම් අධිකරණය මඟින් ලබාදෙන නියෝගයකින් අනතුරුව වෙන්කර දීමෙන් පසුව එහි ඉදිරි කටයුතු කරගෙන යා හැකි බව ද හෙතෙම කියා සිටියේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මත් ජාවාරම සහ අපරාධ කල්ලි මුළුමනින්ම අවසන් කරන බවත් සංවිධානාත්මක කුමන්ත්‍රණ සියල්ල පරාජයට පත්කරමින් දරු පරපුර වෙනුවෙන් සුපිරිසිදු රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා අධිෂ්ඨානයෙන් හා චේතනාවෙන් කටයුතු කරන බවත් කීවේය.
පරාජිත බලවේගවල අරමුණ ජාතිවාදී අවස්ථා නිර්මාණය කර ගැනීම බව පැවසූ ජනාධිපතිවරයා, එවැනි අවස්ථාවන්ට කිසිසේත් ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ අනුර කුමාර දිසානායක මහතා,
“ත්‍රිකුණාමලයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටියා. මේ පිළිබඳ මම දැනටමත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට කිව්වා මොකක්ද වුණේ කියලා වාර්තාවක් එවන්න කියලා. මම වාර්තාවක් කැඳවලා තියෙනවා. ඒ වගේම මහජන ආරක්ෂක ඇමැතිවරයා මෙහි ආරක්ෂාව පිළිබඳ ප්‍රකාශ කළා. මේ බුදු පිළිමය පොලීසියට වැඩම කිරීම පිළිබඳ සටහනක් තබා තිබෙනවා. ඒකේ ඉතාම පැහැදිලිව තියෙනවා ආරක්ෂාව සඳහා තමයි මේ බුදු පිළිමය මෙතනට වැඩම්මෙව්වේ කියලා. ඊට පස්සේ තියෙන්නේ මොකක්ද? මේ බුදු පිළිමය පොලිස් ස්ථානයට වැඩම කෙරෙව්වා නම් ඊළඟට මේ ගැටුම එන්නේ පොලීසිය සහ ඔය කියන ජාතිවාදි කණ්ඩායම් අතරයි. ඒ නිසා තමයි නැවත එතනට බුදු පිළිමය වැඩම කොට ඒ අවශ්‍ය වන ආරක්ෂාව ලබාදීලා තියෙන්නේ. පොලීසිය මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කළයුතු වෙනවා.
මේකට පැරණි බලපත්‍රයක් තිබෙනවා 2014 වගේ. නමුත් කිසිසේත්ම එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස හැඳින්වූවාටමේක විහාරස්ථානයක් ලෙස මෑත කාලයේ භාවිත වෙලා නෑ. භාවිත වෙලා තියෙන්නේ ආපණ ශාලාවක් විදිහට. ආපණශාලාවේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රශ්නයක් පැන නැඟිලා ඒ ආපණශාලාවේ නීති විරෝධි ඉදිකිරීම් තියෙනවා කියලා ඒ නීතිවිරෝධී ඉවත් කිරීම් පිළිබඳ වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබා දීලා තිබුණා. ඒ නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණා පරිසර අමාත්‍යාංශයට. නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ඊට පස්සේ පැවැති සාකච්ඡාවකදී හාමුදුරුවන් වහන්සේ ඉල්ලා තිබුණා තව සතියක කාලයක් ලබා දෙන්න කියලා. ඒ කාලේ දෙනවා. ඒ කාලේ ගතවෙන්නේ 14 වැනිදාට. 16 වැනිදා තමයි මේ සිද්ධිය පැන නඟින්නේ. එතකොට ආගමික ස්ථානයක් පිහිටුවීම වගේම වෙනත් කතාවකුත් මේක ඇතුළේ තියෙන බව පේනවා. පොදු ජනතාව හිතන්න පුළුවන් මෙතන විහාරස්ථානයක් තියෙනවා කියලා. නෑ එතන ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව.
සිද්ධිය වුණාට පස්සෙ දිසාපති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. දිසාපති කාර්යාලයේ දී එකඟතාවක් ආවා නියමිත මිනින්දෝරුවෙක් දාලා ඉඩම බෙදලා හරියටම මැනුම් කටයුතු කරලා වෙරළ සංරක්ෂණ එකට අයිති කොටස කෝකද, පන්සලට අයිති භූමිය නම් කරලා දෙන්නත් සාකච්ඡාවකට ආවා ඊයේ. අධිකරණය දැන් දීලා තියෙන නියෝගය තමයි අලුත් ඉදිකිරීම් කිසිවක් කරන්න එපා, තිබෙන ඉදි කිරීම් ඉවත් කරන්නත් එපා, අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පසුව අදාළ වැඩකටයුතු කරන්න පුළුවන් කියලා. දැන් ඇත්තට ගත්තොත් මේ ප්රශ්නය අවසන්. අර ජාතිවාදී කණ්ඩායම් දැන් හැම තැනම ගිනි තිය තිය යනවා. අපි ඉතාමත් ශක්තිමත්. ජාතිවාදයට නම් ඉඩ තියන්නේ නෑ. මේ රටේ පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නෙත් නෑ. ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවා නම් නැවත පැරණි ජාතිවාද නාඩගම් මේ රටේ ඇති කරන්න. ඒක ඉතිහාසයේම විතරයි. ඒක වර්තමානයත් නෙමෙයි අනාගතයත් නෙමෙයිÓ යැයි පැවැසීය

