පළාත් පාලන ආයතනවල අයවැය පරාජයට පත් වීම හරහා ආණ්ඩුවේ පැවැත්මට කිසිදු බලපෑමක් සිදු නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරයි.
මෙම අයවැය පරාජය කිරීමෙන් හානි වන්නේ මාලිමාවේ අයවැයට නොව, ජනතාව වෙනුවෙන් සකස් කළ අයවැයට බවද ඔහු සඳහන් කළේය. ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
පරාජයට ලක් වූ කොළඹ මහ නගර සභාවේ අයවැය තුළ, ලබන වසරට අදාළව විශාල ව්‍යාපෘති යෝජනා රැසක් ඇතුළත් වූ බවත්, පළාත් පාලන ආයතන මගින් ජනතාවට ලබා දිය යුතු සේවාවන් ඉහළ මට්ටමකින් ඉටු කිරීම සඳහාම එම අයවැය සකස් කර තිබූ බවත් ඔහු පැවසීය.
එමෙන්ම, මෙම අයවැය හරහා ලැබෙන සහන මාලිමාවට ඡන්දය දුන් පිරිසකට පමණක් සීමා නොව, සියලු ජනතාවටම ප්‍රයෝජන වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව, අයවැය පරාජයට පත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කිරීම, ඔවුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් කරගත් ජනතාවට එරෙහි ක්‍රියාවක් බවද ඔහු කියා සිටියේය.
විපක්ෂය කුමන අරමුණකින් පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරන්නේද යන්න ගැටලු සහගත බවද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආර්ථික වශයෙන් බරපතළ අභියෝග මැද තිබූ රටක් භාරගෙන, ගෙවුණු වසර තුළ මහා භාණ්ඩාගාරයේ බිලියන 1200ක සංචිතයක් ගොඩනගා ගැනීමට හැකි වූ බවයි. එමෙන්ම සංචාරක පැමිණීම හා ආදායම වැඩිවී ඇති අතර, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ලංකාවට එවන මුදල්ද ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.
අයවැය පරතරය සියයට 4.5ක පමණ මට්ටමක පවත්වා ගැනීමට රජය සමත් වූ බවත්, ලබන වසර සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස බිලියන 1500ක් වෙන් කරමින් රටට වැදගත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අවස්ථාවක මෙම අභියෝග මතුවූවත්, ඒ සියල්ල මැද රට ගොඩනගා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.

