පෙබරවාරිය ආණ්ඩුවට සුබයි! ජුලිවල 24%ට තිබ්බ ජනතා අනුමැතිය 62%ට නැගලා! ආර්ථිකය ගැන ටිකක් අසුබයි!
වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුමේ නවතම 2025 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇත. 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් තිබේ.
ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයව ඇත. කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵලවලින් කියැවේ. එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩු ය.
සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත.
1.ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය – අනුමත කරනවා – 62% අනුමත කරන්නේ නැහැ – 16%
වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඔබ අනුමත කරනවා ද, නැද්ද? යන පැනයට, අනුමත කරන බව යන පිළිතුර ලබාදුන් ප්‍රතිශතය 62%ක් විය. එය මෙම සමීක්ෂණය කළ අවසාන වතාවේ ලැබුණු 24%ක අගයට වඩා දෙගුණයකටත් වැඩි ය. අනෙක් පසින්, ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බව පැවසූයේ ජනතාවගෙන් 16%ක් පමණි. මෙම ප්‍රතිශතය, මින් පෙර අවස්ථාවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බවට පළවූ 60%ක ප්‍රතිශතය හා ගත්විට කැපී පෙනේ.
2.ආර්ථිකයේ ඉදිරි දැක්ම – හොඳ අතට හැරෙමින් පවතී – 55% – නරක අතට හැරෙමින් පවතී – 14%
රටේ ආර්ථික තත්ත්වයන් සමස්තයක් ලෙස හොඳ අතට හැරෙමින් පවතිනවා ද, නැතිනම් නරක අතට හැරෙමින් පවතිනවා ද, යන පැනයට පිළිතුරු දුන් ජනතාවගෙන් 55%ක්ම කියා සිටියේ ආර්ථික තත්ත්වයන් හොඳ අතට හැරෙමින් පවතින බව ය. 2024 ජූලි මාසයේ මෙම අගය 30%ක් විය. ආර්ථික තත්ත්වයන් නරක අතට හැරෙමින් පවතින බව කියා සිටියේ 14%ක් පමණි. එය, ගියවර තිබුණු 65%ක අගයෙන් සීඝ්‍ර පහළ යාමකි.
3.ආර්ථික තත්ත්වය – හොඳ හෝ විශිෂ්ටයි 35% – දුර්වලයි 47%
රටේ ආර්ථික තත්ත්වයන් විශිෂ්ට, හොඳ හෝ දුර්වල ලෙස ශ්‍රේණිගත කරන්නැයි උපදෙස් දුන් විට 35%ක් ඒවා ‘විශිෂ්ට හෝ හොඳ’ යටතේ ශ්‍රේණිගත කළේ ය. මෙය 2024 ජූලි මස වාර්තා වූ 28%ක අගයට වඩා වැඩි ය. ඒ අතරවාරයේ 47%ක් රටේ ආර්ථික තත්ත්වයන් ශ්‍රේණිගත කළේ ‘දුර්වල’ යටතේ ය. අවසානයට කළ සමීක්ෂණයේ දී, මෙම අගය 71%ක් විය. එනම්, මෙදා ප්‍රතිඵලය එදාට වඩා අගයන් 24කින් අඩු ය.
ජනමත විමසුම ක්‍රියාත්මක කිරීම
‘රට හිතන හැටි’ ජනමත විමසුම වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය හා එක්ව සිදුකරන Syndicated Surveys නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වේ. Syndicated Surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව හිමිවේ.
මෙම නවතම සමීක්ෂණය, බහු-අදියර සසම්භාවී ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද විවිධ කුටුම්භයන්හි වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,050 දෙනෙකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කරගනිමින් 2025 ජනවාරි 31ක සිට 2025 පෙබරවාරි මස 5 දක්වා කාලය තුළ සිදු කර ඇත.
සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ, 95% විශ්වාසනීය මට්ටමක් (confidence level) සහ උපරිම ආන්තික දෝශය (error margin) ±3.0% මට්ටමක පැවතෙන පරිදිය. ජනමත විමසුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන දෝශයන් ආන්තික දෝශය කෙරෙහි තවදුරටත් බලපෑම් ඇති කළ හැකිය.