Wednesday, March 4, 2026
Homeදේශීයපෙරටුගාමීගෙන් ආණ්ඩුවට අභියෝගයක්

පෙරටුගාමීගෙන් ආණ්ඩුවට අභියෝගයක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශය සැලකිල්ලට ගනිමින්, එය ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති කළ බලපෑම් පිළිබඳව රජය සෘජු හා පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරයි.

එම පක්ෂය පෙන්වා දෙන්නේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු රට මුහුණ දී ඇති ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගත යුතු ආකාරය පිළිබඳව ලොව ප්‍රමුඛ ආර්ථික විශේෂඥයින් පිරිසක් විසින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

සුළි කුණාටුවෙන් සිදුවූ විනාශය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් මහතා ඇතුළු ලොව ප්‍රමුඛ ආර්ථික විශේෂඥයින් 121 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී ඇති හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ණය ලබාගෙන ඇති අතර, ඉදිරියේදී තවත් ණය ලබාගැනීමට සිදුවනු ඇති බවද එම විශේෂඥයින් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ බාහිර ස්වෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවා නව තත්ත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කළ යුතු බවට ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පැවසුවේ, ආණ්ඩුව මෙම නිවේදනය බරපතළ ලෙස සලකා බැලිය යුතු බවයි.

“අද වන විට ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික විශේෂඥයින් 121 දෙනෙක් ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. එම ප්‍රකාශයෙන් ඔවුන් පැහැදිලිව කියන්නේ ඉදිරි කාලය තුළ ලංකාවට ණය ගෙවීම අසීරු වෙන බවයි.

ඒ නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඔවුන් යෝජනා කරන්නේ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමක් ලබාදෙන ලෙසයි. අපි රට ඇතුළේ ඉඳලා කියපු කාරණා ආණ්ඩුව පිළිගන්න බැරි නම්, ලෝකයේ ඉන්න ප්‍රබලම ආර්ථික විශේෂඥයින් කියන දේවත් සලකා බලන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා,” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments