2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනැමීමට නියමිත “මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරෙයිරා” රන් පදක්කම, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් විද්‍යුත් අංශයේ උපදේශක ඒ.එච්. ඒ. ඩී. අබේසේකර වෙත පිරිනැමීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කර ඇත.
මෙම තීන්දුව මොරටුව ප්‍රදේශයේ පදිංචි කල්පනා මානවඩු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවන්ගේ එකඟත්වයෙන් විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රකාශයට පත් කළේය.
විනිසුරු මඩුල්ල සඳහන් කළේ, රන් පදක්කම පිරිනැමීමේ ක්‍රියාවලියේදී විධිමත් විනිවිඳභාවයකින් යුත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවී ඇති බව පෙනී යන අතර, එම ක්‍රියාවලියෙන් පෙත්සම්කාරියට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබිය යුතු මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බවයි.
ඒ අනුව, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් රන් පදක්කම ඒ.එච්. ඒ. ඩී. අබේසේකර වෙත පිරිනැමීමට ගත් තීරණය බලරහිත කර තිබේ. නමුත්, නියමිත කාල සීමාව ඉක්මවා ගොස් ඇති බැවින්, මෙම රන් පදක්කම පෙත්සම්කාරියට පිරිනමන ලෙස නියෝගයක් නිකුත් නොකරන බවත් තීන්දුවේ සඳහන් වේ.