වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් අත්අඩංගුවට ගෙන යටත්කර ගැනීමත් සමඟ රන්, රිදී සහ අනෙකුත් වටිනා ලෝහවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (05) උදෑසන ආසියානු වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,408ක් (පවුම් 3,282ක්) පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර, රිදී මිලද සියයට 3.5කට ආසන්න ලෙස වර්ධනය වී තිබේ.
මේ අතර, බොරතෙල් මිල සුළු වෙනස්වීම් පමණක් පෙන්නුම් කළද, කලාපයේ කොටස් වෙළඳපොළ බොහෝ දුරට ඉහළ යාමක් දැක්වූ බව සඳහන් වේ. රන් සහ රිදී මිල 2025 වසර තුළ වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා වී ඇති බවද වාර්තා වෙයි.
පසුගිය වසර අවසානයේ යම් පහත වැටීමක් දක්නට ලැබුණද, රන් මිල 1979 සිට වාර්තා වූ ඉහළම වාර්ෂික අගය සනිටුහන් කරමින් පසුගිය දෙසැම්බර් 26 වන විට සියයට 60කට වඩා ඉහළ ගොස් ඩොලර් 4,549.71ක උපරිම මට්ටමකට ළඟා වී තිබේ.
වෙනිසියුලාවේ වොෂින්ටන් මැදිහත්වීම බොරතෙල් සැපයුමට බලපාන ආකාරය පිළිබඳ ආයෝජකයින් අවධානයෙන් සිටියද, පසුව එම බලපෑම තරමක් අඩු වන ලකුණු පෙන්නුම් කළ බවද සඳහන් වේ.
මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු, වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිතවලින් ප්‍රයෝජන ගන්නා බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දුවක් ද ලබා දී ඇත. කෙසේවෙතත්, 2000 දශකයේ මුල් භාගයෙන් පසු දැඩි ලෙස පහත වැටී ඇති වෙනිසියුලාවේ තෙල් යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට ඩොලර් බිලියන ගණනක් වැය වන බව විශේෂඥයින් පෙන්වා දෙති.
දශක ගණනාවක් පුරා පහළ මට්ටමක පැවති වෙනිසියුලාවේ බොරතෙල් නිෂ්පාදනය මේ වන විට ගෝලීය තෙල් නිෂ්පාදනයෙන් සියයට 1කට ආසන්න ප්‍රමාණයක් බවද වාර්තා වෙයි.

