Wednesday, March 4, 2026
Homeවිදේශීයමැලේසියා හිටපු අගමැති නජීබ්ට තවත් වසර 15ක සිර දඬුවමක්

මැලේසියා හිටපු අගමැති නජීබ්ට තවත් වසර 15ක සිර දඬුවමක්

මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක් හා ඩොලර් බිලියන 2.8කට ආසන්න දඩ මුදලක් පැනවීමට එරට අධිකරණය ඊයේ (26) තීන්දු කර තිබේ.

මැලේසියාවේ මෙතෙක් වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාවට සම්බන්ධ චෝදනා යටතේ නජීබ් රසාක් 2022 වසරේ සිට සිර දඬුවම් විදිමින් සිටින අතර, එම දඬුවම 2028 වසරේදී අවසන් වීමට නියමිත පසුබිමක මෙම නව දඬුවම පැනවීම විශේෂත්වයක් ලෙස සැලකේ.

කෙසේවෙතත්, මෙම තීන්දුවට එරෙහිව ඉදිරි සඳුදා අභියාචනයක් ඉදිරිපත් කරන බව නජීබ්ගේ නීතිඥවරයා සඳහන් කර තිබේ.

72 හැවිරිදි නජීබ් රසාක්ගේ පුද්ගලික ගිණුම්වලට ඩොලර් බිලියනයකට අධික මුදල් ලැබී තිබීම ඔහුට එරෙහි ප්‍රධාන චෝදනාවක් වන අතර, රජයේ ‘1Malaysia Development Berhad’ (1MDB) අරමුදලෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 4.5ක් වංචනික ලෙස භාවිතා කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.

පැය පහක් පුරා පැවති නඩු විභාගයෙන් අනතුරුව, මුදල් විශුද්ධිකරණයට අදාළ චෝදනා 21කට නජීබ් රසාක් වැරදිකරු කර ඇති අතර, සිර දඬුවමට අමතරව රිංගිට් බිලියන 11.39ක (ඩොලර් බිලියන 2.82) දඩ මුදලක් ගෙවීමටද නියෝග කර ඇත.

එමෙන්ම රිංගිට් බිලියන 2.08ක වත්කම් අයකර ගැනීමටද නියම කර ඇති අතර, එම නියෝග ක්‍රියාත්මක නොකළහොත් අමතර සිර දඬුවම් පැනවෙන බව අධිකරණය දැනුම් දී ඇත.

වංචනිකව උපයාගත් මුදල් භාවිතා කරමින් නජීබ් සහ ඔහුට සමීප පිරිස පෞද්ගලික ජෙට් යානා, සුඛෝපභෝගී වත්කම්, හෝටල්, කලා කෘති, ස්වර්ණාභරණ, සුපිරි යාත්‍රා සහ 2013 වසරේ හොලිවුඩ් චිත්‍රපටයකට මුදල් යෙදවීම ද සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments