Saturday, December 20, 2025
Homeදේශපාලනරජයේ ආදායම් හිඟය ගැන IMF කනස්සල්ලෙන්..

රජයේ ආදායම් හිඟය ගැන IMF කනස්සල්ලෙන්..

රජයේ ආදායම් හිඟය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවී තිබේ.

රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ (26) පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ගනුදෙනුවට අදාළ සමාලෝචන වැඩසටහනේ අවසන් සාකච්ඡා වටය ඊයේ පවත්වා තිබුණි.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රැසක් ශ්‍රී ලංකා රජය විසින් සපුරා ඇති බවට මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් ප්‍රකාශ කර ඇති අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය එහිදී එම නියෝජිතයින්ගේ පැසසුමට ලක්වී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වසර තුළ රජයේ ආදායම් හිඟය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය කනස්සල්ල පළ කර ඇති අතර ඉදිරි කටයුතු පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලය සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් ය.

මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පසුගිය දින කිහිපය පුරා සිදු කළ සමාලෝචනයේ නිගමනයන් අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

මහ බැංකු පරිශ්‍රයේදී පැවැත්වෙන එම මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා  එක්වීමට නියමිත බව සඳහන් වෙයි. (Adaderana)

RELATED ARTICLES

Most Popular

Recent Comments