Thursday, November 13, 2025
Homeදේශපාලනරාජ්‍ය සේවකයන් හැසිරවීම පරිස්සමින් කළ යුතුයි--වජිර අබේවර්ධන

රාජ්‍ය සේවකයන් හැසිරවීම පරිස්සමින් කළ යුතුයි–වජිර අබේවර්ධන

රාජ්‍ය නිලධාරීන් සද්භාවයෙන් ගන්නා තීරණවලදී සිදුවන පාඩු ගැන ද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සහ මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි ද අනුව බලධාරීන් විසින් රාජ්‍ය සේවකයන් හැසිරවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති සහ රාජ්‍ය පරිපාලන හිටපු ඇමැතිවරයකු වූ වජිර අබේවර්ධන මහතා පැවසීය.

2001 වකවානුවේදී රටේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඉතාමත් වැදගත් සේවාවක් ඉටු කළ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් පෙරේදා (04දා) අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා එසේ අදහස් දැක්වීය.

අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

මා දන්නා චරිත රත්වත්තේ මහතා 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ තරුණ සේවා සභාව ඇති කිරීමටත්, එය නිසියාකාරව රටට ප්‍රයෝජනවත් ආකාරයට හැසිරවීමටත් නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියෙක්.

එලෙස 1988 වකවානුවේ ජනසවිය ව්‍යාපාරය ආරම්භ කරන විටත් ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අවශ්‍ය සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරියකු ලෙසයි අප දැන හඳුනාගෙන සිටින්නේ. රත්වත්තේ මහතා 2001 වකවානුවේදී රටේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඉතාමත් වැදගත් සේවාවක් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තා.

රාජ්‍ය නිලධාරීන් ගන්නා තීරණවලදී රජයට ලාභයක් සිදු වූ විට ස්තුති කරන්නේ නැහැ. එසේම රජයට වාසිදායක තත්ත්වයක් උදාවූ විට ඔවුනට සහන ලබා දෙන්නේත් නැහැ. සද්භාවයෙන් ගන්නා තීරණවලදී සිදුවන පාඩු ගැන ද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සහ මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි අනුව රාජ්‍ය සේවකයන් හැසිරවිය යුතුයි කියන එකයි හිටපු රාජ්‍ය පරිපාලන ඇමතිවරයකු ලෙස මට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. විශේෂයෙන් අපරාධ හැර අනික් අවස්ථාවල රාජ්‍ය සේවකයන් බොහොම සංවේදී පුද්ගලයන් නිසා පරිස්සමින් හැසිරවීම කළ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මා මතක් කරනවා

RELATED ARTICLES

Most Popular

Recent Comments