Saturday, January 24, 2026
Homeදේශීයවනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

සීප්පුකුලම ප්‍රදේශයේ වනඅලියෙකු පිලිස්සීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) දින යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අදාළ සැකකරුවන් අද අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් ලක්මාලි හෙට්ටිආරච්චි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මෙම සිද්ධිය හේතුවෙන් මහජන විරෝධතාවක් ඇතිවිය හැකි බව සලකා බලා, සැකකරුවන්ට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ගින්නෙන් පුලුස්සා වනඅලියෙකුට හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර, ඒ අනුව සැකකරුවන් තිදෙනෙකු මිහින්තලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම අවාසනාවන්ත සිද්ධියට ලක්වූ වනඅලියා දින කිහිපයකට පෙර සීප්පුකුලම ප්‍රදේශයේදී මියගොස් සිටි අතර, සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී වකුගඩු හා අක්මාවේ රෝගී තත්ත්වයන්ට අමතරව, පිලිස්සීමෙන් ඇති වූ භීතියද මරණයට හේතු වී ඇති බවට නියගමනය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42, 48 සහ 50 වන අතර, ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments