ඉතා සැලසුම් සහගතව ක්‍රියා කිරීම නිසා අලුතින් කර්මාන්තපුර 10ක් ඇති කිරීමටත්, දේශීය හා අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇතිව තිබෙන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
“මේ වසරේදී අපනයන ක්ෂේත්‍රයේ සියයට 7ක වර්ධනයක් ඇති කරන්න අපට හැකිවුණා. බැංකුවලට ණය සඳහා දේපළ සින්නවීම් අඩු වී තිබෙනවා. ණයදීම සියයට 20කින් වැඩිවෙලා. කර්මාන්ත අමාත්‍යාංශයට කර්මාන්ත ලෙස ලියාපදිංචි වීමට අයැදුම්පත් 118ක් ආවා. එයින් 89ක් ලියාපදිංචි වුණා. කර්මාන්ත සඳහා ඉඩම් ඉල්ලා 38ක් ආවා. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට මේ වසරේ 2400ක් ලියාපදිංචි වෙලා.
අපනයන සංවර්ධන මණ්ඩලයට නව අපනයනකරුවන් 482ක් මේ වසරේ ඇතුල් වෙලා තියෙනවා.
කර්මාන්තකරණය හා ව්‍යවසායකරණය සක්‍රීයව මහ පොළොවේ ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත්ව ඉන්නවා.
කර්මාන්තකරණයට අවශ්‍ය පද්ධතිය හදා ගත්තේ මේ වසරේ. ඒ වගේම ඉඩම් ප්‍රශ්නය උග්‍රව පවතිනවා. කර්මාන්තපුර 10ක් මේ වසරේ ඉදි වෙනවා. තුනක වැඩ අවසන්. සූරියවැව සහ රයිගම්පුර කර්මාන්තපුර ලබන වසර මුලදී අරඹන්න හැකියි. කාර්මික සංවර්ධන මණ්ඩලය තවත් අක්කර 05ක් මේ වසරේ කර්මාන්තකරණයට එකතු කර තියෙනවා. මහවැලි සංවර්ධන අධිකාරියෙන් තවත් අක්කර දහස් ගණනක් මේ වසරේ ලැබෙනවා.
කර්මාන්ත ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ණය 203ක් ප්‍රතිව්‍යුහගත කළා. ඉන් 45කට අලුත් ණය ලබා දෙන්න මේ මාසයේ ක්‍රියා කරනවා. අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරනවා. කර්මාන්ත ප්‍රතිපත්තිය හැදුවා. පලදායිතාව නංවන්න, ඩිජිටල්කරණය කිරීමටත්, සෙසු වැඩකටයුතුත් දැන් ආරම්භ කර තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි (සජබ) –
දේශීය කර්මාන්ත නැංවීම අමාත්‍යාංශයට කළ හැකියි. ඒකට අලුත් වැඩපිළිවෙළක් හදනවා කියලා මුලින් කිව්වා. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ ගැටලුව විසඳන්න. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ගැටලු නිරාකරණය වී නෑ.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හරි අඩක් පමණ රටේ ආර්ථිකයට බද්ද වෙලා නෑ. ඒ නිසා ඒවා නැවත යාවත්කාලීන කිරීමේ වගකීම ආණ්ඩුවට පැවරී තියෙනවා. අලුත් කර්මාන්ත ඇති කරනවා වගේම තිබෙන කර්මාන්ත නැංවීමට අවශ්‍ය පියවර ගන්න. මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම හොඳයි. අසරණ කර්මාන්තකරුවන් නැංවීමට මුල්තැන දෙන්න.
කර්මාන්ත කඩාවැටීමට හේතුව විදුලිය හා ඉන්ධන පිරිවැය වැඩිවීම හේතු වී තිබෙනවා. නිෂ්පාදන මිල ඉහළ යනවා. මේ ගැන වහාම ආණ්ඩුවේ අවධානය යොමු කරන්න.

