මෙරටට විදේශ විනිමය උපයා දෙන කාර්මික අංශයේ අපනයන ආදායම මෙම වසරේ මුල් මාස 8 තුළ පසුගිය වසරේ එම කාලයට වඩා 12.5%කින් බිඳ වැටී ඇති බව මහ බැංකුවේ නවතම නිවේදනයකින් හෙළි වේ.
එය තව දුරටත් තීව්ර වන්නේ විදේශ රැකියාවලින් උපයා එවන ආදායම් ද පසුගිය ජූලි මාසය තුළ ඩොලර් මිලියන 541ක් වී තිබී අගෝස්තු මාසයේදී එය ඩොලර් මිලියන 499 දක්වා පහත වැටී තිබීමෙන් ය. කාර්මික අපනයන ආදායම මෙන්ම විදේශ රැකියාවලින් එවනු ලබන මුදල් ප්‍රමාණය ද දෙකම එකවර පහත වැටී තිබේ.
පසුගිය 2022 වසරේ මුල් මාස 8 තුළ කාර්මික අපනයනවලින් ඩොලර් මිලියන 7,167.7ක් මෙරටට එවා තිබූ අතර මෙම වසරේ එම කාලය තුළ එවා තිබෙන්නේ ඩොලර් මිලියන 6,273.6ක් පමණි. මේ අනුවපසුගිය වසරේ මුල් මාස 8ට වඩා මෙම වසරේ මුල් මාස 8 තුළ කාර්මික අපනයන ඉපයීම් ඩොලර් මිලියන 894.1කින් බිඳ වැටී ඇත.
ආණ්ඩුව මෙරට වැඩ කරන ජනතාවගේ EPF ඇතුළු විශ්‍රාම අරමුදල් කපා හැරීම, මාසික වැටුප් ලබන්නන් මත 36% දක්වා ඍජු බදු පැනවීම, වක්‍ර බදු විශාල වහයෙන් ඉහල දැමීම සහ රාජ්‍ය ආයතන ඇතුළු රටේ සම්පත් විකුණා දමමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කර මේ දක්වා ලබා ගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 333ක ණය මුදල් වාරිකයක් පමණකි. නමුත් මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරමින් ආර්ථිකය හැකිලීමේ ක්‍රියාමාර්ග අනුව මෙරට කර්මාන්ත පද්ධතිය කඩා වැටී එම අපනයන ආදායම් ඉපයීම ඩොලර් මිලියන 900කට ආසන්න ප්‍රමාණයකින් බිඳ වැටී තිබේ.