රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් හා මුදල් අයතා ලෙස අත්පත් කරගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (22) දින තීරණය කළා.
මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ නඩුව දෙසැම්බර් 18 සහ ජනවාරි 20 යන දිනවල විභාගයට ගැනීමට නියම විය.
අල්ලස් කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා සඳහන් කළේ, නඩුවට අදාළ සියලු ලේඛන විත්තිය වෙත ලබාදී ඇති බවයි. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා එම ලේඛන පරීක්ෂා කිරීමට කාලයක් ඉල්ලා සිටියා.
මෙම නඩුව, විමල් වීරවංශ මහතා 2010 සිට 2015 දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතරතුර නීත්‍යානුකූල ආදායම අභිබවා අයතා වත්කම් අත්පත් කරගත් බවට අල්ලස් පනත යටතේ ගොනු කර ඇති එකකි.