සැකකරුවකුගේ රුව තම රුව සමඟ වරදවා හඳුනාගෙන බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බවට දැරණියගල ප්‍රදේශයේ තරුණයෙකු පොලිසියට චෝදනා කර ඇත.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ළහිරු මධුසංඛ නමැති තරුණයෙකි.
පසුගිය දෙසැම්බර් 30 වැනිදා රාත්‍රියේ කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබූ අතර, එම සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා අතින් අඳින ලද සැකකරුගේ සිතුවමක් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර තිබුණි.
එම පසුබිම තුළ, සිය ව්‍යාපාරයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන යාම සඳහා ඉකුත් ජනවාරි 1 වැනිදා කොළඹට පැමිණි ළහිරු මධුසංඛ, බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිට ඇත.
ඊට පසුදින උදෑසන එම නිවසට පොලිස් නිලධාරීන් පැමිණ ඇති අතර, ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත ගිය අවස්ථාවේදී අදාළ සැකකරුගේ සිතුවම පෙන්වා තමන්ට පහරදුන් බවට ඔහු චෝදනා කරයි.
ළහිරු මධුසංඛ දින දෙකකට ආසන්න කාලයක් බොරැල්ල පොලිසියේ රඳවා තබා ඇති අතර, ඔහු ඉකුත් 3 වැනිදා පස්වරුවේදී නිදහස් කර ඇත.
මෙම චෝදනාව සම්බන්ධයෙන් විමසීමකට පිළිතුරු දෙමින් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, සැකපිට අත්අඩංගුවට ගත් තරුණයාගේ තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු පොලිස් ඇප මත මුදාහරින ලද බවයි.
කෙසේවෙතත්, අදාළ තරුණයාට පහරදුන් බවට එල්ල වන චෝදනා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරන බවද ස්ථානාධිපතිවරයා අවධාරණය කළේය.

