Friday, January 16, 2026
Homeදේශීයසීමා නිර්ණයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

සීමා නිර්ණයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා කොට්ඨාස පිළිබඳ සීමා නීර්ණය  කර ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න පැවසීය.

ඒ අනුව, තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඇමතිවරයා පැවසීය.

තේරීම් කාරක සභාව පත් කිරීමෙන් පසු සීමා නීර්ණයට ගතවන කාලය සම්බන්ධ ගැටලු නිරාකරණය කර ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම රජයේ අරමුණ  බව අමාත්‍ය චන්දන අබයරත්න අවධාරණය කළේ ය.

මේ වන විට පළාත් සභා ඡන්දයෙන් 50%ක් කොට්ඨාස මට්ටමෙන් සහ 50% අතිරේක ලැයිස්තුවෙන් සභිකයන් තෝරා ගැනීමට හැකි වන සේ ඡන්ද ක්‍රමය සකසා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න එහිදී මෙසේ ද පැවසීය.

 “පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග මෙන් ම මේ පිළිබඳ උනන්දුවක් දක්වන කණ්ඩායම්  සමග කතා කර ප්‍රජාතන්ත්‍රවාදී  අවකාශය පුළුල් කරන විදියේ ක්‍රමයක් හදා ගන්න ඕනෑ. රජය පැත්තෙන් අපේ අදහස ඒකයි. සාකච්ඡා ඇතුළෙන්  තමයි අවසන් තීරණයකට එන්න වෙන්නේ.”

මේ අතර, දැනට සම්මත වී ඇති පළාත් සභා නව නීතියට අනුව සීමා නීර්ණය අනුමත විය යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) සඳහන් කරයි.

එවැනි පසුබිමක් තුළ සීමා නීර්ණය අනුමත වී පළාත් සභා ඡන්දය පවත්වන්නට ලබන වසරේ ජූනි – ජූලි දක්වා කල් ගතවනු ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

පළාත් සභා ඡන්දයේදී 50%ක් කොට්ඨාස මට්ටමෙන් සහ 50% අතිරේක ලැයිස්තුවෙන් සභිකයන් තෝරා ගැනීමට නම් නව නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා සීමා නීර්ණය සම්මත විය යුතු බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද, පළාත් සභාවල නිල කාලය 2017 වසරේදී අවසන් විය.

මධ්‍යම, වයඹ, උතුරු පළාත් සභාවල නිල කාලය  2018 වසරේ ද  ඌව, බස්නාහිර, දකුණ යන පළාත් සභාවල නිල කාලය 2019 වසරේද අවසන් වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments