Thursday, January 15, 2026
Homeආගමිකසොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය ජීවිතවලට මහඟු අරුතක් එක්කරයි – ජනපති

සොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය ජීවිතවලට මහඟු අරුතක් එක්කරයි – ජනපති

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත.

සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නකට පමණක් සීමා නොව, අනාගතය පිළිබඳ ධෛර්යයෙන් හා විශ්වාසයෙන් නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කරන අවස්ථාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මෑතකදී රට මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ මහත් ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයකට සියලු දෙනා එක්ව සිටින බවත්, එම ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට එක්ව උර දෙන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

සොබාදහමට වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙන මේ සමයේ, සොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය ජීවිතවලටත් සමාජයටත් මහඟු අරුතක් එක්කරන බවද ඔහු සිහිපත් කර ඇත.

“ඕනෑම අන්ධකාරයකට පසුව ආලෝකයක් ඇති බව අප දැඩිව විශ්වාස කරමු. තිර අදිටනින් සහ එකමුතුව අභියෝග ජය ගනිමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීමට යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම මහඟු ආශිර්වාදයක් වේවා’යි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සියලු දෙමළ ජනතාවට සෞභාග්‍යවත් සුබ තෛපොංගල් සැමරුමකට ශුභාශිංසන එක් කරමි.”යනුවෙන්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments