මිනීමැරීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කළ අභියාචනාධිකරණය තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.
එම අභියාචනය ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම්දීම පිළිගෙන විභාගය කල් තැබීමට අධිකරණය තීරණය කළේය.
2015 ජනාධිපතිවරණ සමයේ එවක අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය විසින් ජයසේකර මහතාට මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ අභියාචනාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළ අතර, එම තීරණය නීතියට පටහැනි බව පවසමින් අගතියට පත් පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

